පසුගිය වසරේ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව් පාඩුව රුපියල් කෝටි 10,502 යි

October 24, 2019

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව් 2018 වර්ෂයේ දී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502 ක් බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවන වාර්තාවෙන් අනාවරණය වේ.

පසුගිය වසරේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් කෝටි 50 ක (රු 505,408,042) අලාභයක්ද, සි/ස ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් තුන්කෝටියක (රු 33,622,258) අලාභයක්ද ලබා තිබේ.

මෙයට අමතරව 2018 වර්ෂයේදී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය රුපියල් 2,187,367ක්ද, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය රුපියල් 3,567,328ක්ද වශයෙන් පාඩු ලබා ඇති බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවට ඇතුළත් ආයතන අතරින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතන විසින් අපේක්ෂිත මූල්‍ය වාර්තා මේ වන තෙක් ඉදිරිපත් කොට නොමැති බව කමිටු වාර්තාව මගින් තවදුරටත් අනාවරණය කර ඇත.

ලංකා හොස්පිට්ල් කෝපරේෂන් පි.එල්.සී, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත ස්ස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, සීමාසහිත ලංකා විදුලි(පුද්ගලික) සමාගම ඇතුළු ආයතන 23ක ගිණුම් විගණනය කරමින් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද අධීක්ෂණ මගින් ඉහත අලාභයන්  අනාවරණය කරගෙන තිබේ.

2019 අගෝස්තු 09 වන දින සිට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය ආවරණයට විවෘත කිරීමත් සමග වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සිදුවෙමින් පවතින අභියෝගයන්ට මුහුණ දීමට පුරවැසියන් හට මැදිහත් වීමට තිබෙන අවස්ථා තව දුරටක් පුළුල් වී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ පිළිබඳ අදහස් දැක්වූ එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ  කටයුතු පිළිබඳ ගෞරවයක් ප්‍රසාදයක් තිබෙන අතරම එහි බලතල පිළිබඳ වැඩි අවධානයක් ජනතාව අතර ගොඩනැගී ඇති නිසා කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ වලට ඊලඟට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මහජනතාව‍ ප්‍රශ්න කරන බවයි.

විශේෂයෙන් 2019 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටුවේ දෙවන වාර්තාවෙන් ඉදිරිපත් කළ ආයතන පිළිබඳ අමාත්‍යංශ නිරීක්ෂණ සති 08ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, මේවන තෙක් එම ආයතන 08න් 05ක් ම සිය නිරීක්ෂණ ඉදිරිපත් කොට නොමැති බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මෙම කරුණු සඳහන් කරමින්  සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ සිය කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ මත කඩිනමින් අදාල වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බලයක් සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි. මේ මගින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන ආයතන වල අක්‍රමිකතා ඇසින් දුටු සාක්ෂි ලෙස පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමේ හැකියාව හිමි වනු ඇති බව ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම ඉල්ලීමට එකඟත්වය පල කළ නියෝජ්‍ය කථානායකවරයා කථානායක තුමා සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පියවරක් ගන්නා බව දන්වා සිටියේය.

t

o

p