2030 වන විට අඩකින් හෝ “සාක්ෂරතා දරිද්‍රතාව” මැඬලීමට ඉලක්කයක්

October 24, 2019

මෙම නව ඉලක්කය කරා ළඟා වීමට සියලූරජයයන්, පවුල් සහ රජාවන්ගේ කැපවීම අවශ් වේ.

ලෝක බැංකුව අද නව ඉගෙනුම් ඉලක්කයක් හඳුන්වා දුන් අතර එය 2030 වන විට ගෝලීය සාක්ෂරතා දරිද්‍රතාවය අඩකින්වත් අඩු කරලීම අරමුණු කර ගෙන ඇත. සරල කතාවක් කියවීමට හා තේරුම් ගැනීමට නොහැකි වයස අවුරුදු 10 ළමයින්ගේ ප‍්‍රතිශතය ‘සාක්ෂරතා දරිද්‍රතාව’ ලෙස හැඳින්වේ.

යුනෙස්කෝ සංඛ්‍යාලේඛන ආයතනය සමඟ ඒකාබද්ධව සකස් කරන ලද දත්ත සමුදායක් භාවිතා කරමින් ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල ළමුන්ගෙන් සියයට 53කට ප‍්‍රාථමික පාසලින් නික්මෙන විට සරල කතාවක් කියවා තේරුම් ගත නොහැකි බවයි. දුප්පත් රටවල මෙය සියයට 80 ක් තරම් ඉහළ අගයක් ගනියි. මෙම ඉහළ මට්ටමේ සාක්ෂරතා දරිද්‍රතාවය සියලූ ගෝලීය අධ්‍යාපන අරමුණු සහ ඒ ආශ‍්‍රිත අනෙකුත් තිරසාර සංවර්ධන අරමුණු අවදානමෙහි පවතින බවට අනතුරු ඇඟවීමේ පූර්ව සංඥාවකි.  

“මෙම ඉගෙනුම් ඉලක්කය කරා සාර්ථකව ළඟා වීම අපගේ මෙහෙවරට බෙහෙවින් වැදගත් වෙනවා” ලෝක බැංකු සමූහ සභාපති ඩේවිඩ් මැල්පාස් පැවසීය.  “සාක්ෂරතා දරිද්‍රතාවයට මුහුණ දීම සඳහා දේශීය සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීමට පුළුල් ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. වඩා හොඳ ඉගැන්වීමක් සඳහා ආයෝජනවල හදිසි අවශ්‍යතාවය සහ වැදගත් ඉගෙනුම් ප‍්‍රමුඛතා වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීම, මෙම ඉලක්කය වෙත ළඟා වීමට මං පෙත් හෙළි කරනවා.” ඔහු වැඩිදුරටත් පවසයි.

මානව ප‍්‍රාග්ධන ව්‍යාපෘතියේ (Human Capital Project’s) මෙහෙවරක් වන ජනතාව සඳහා වූ ආයෝජන වේගවත් කිරීමට ඇති දේශපාලන කැපවීම ගොඩනැංවීම සමඟ මෙම නව ඉලක්කය සමපාත වේ. රටවල සෞඛ්‍යය, අධ්‍යාපනය සහ පැවැත්මේ ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන ලද මානව ප‍්‍රාග්ධන දර්ශකයේ බොහෝ වෙනස්කම් සිදුවන්නේ අධ්‍යාපන ප‍්‍රතිඵලවල වෙනස්කම් හේතුවෙනි.

“සැමට සමාන අවස්ථාවන් ලැබීම සහතික කිරීම සඳහා අධ්‍යාපනය තීරණාත්මක සාධකයක් බව අපි දනිමු.” ලෝක බැංකු සමූහයේ මානව සංවර්ධන උප සභාපති ඇනට් ඩික්සන් මහත්මිය පැවසීය.  “බොහෝ රටවල් සාක්ෂරතා දරිද්‍රතාවය මුළුමනින්ම පාහේ තුරන් කර තිබෙනවා. එනම්, සියයට 5 ට වඩා අඩු කරගෙන තිබෙනවා.

නමුත් අනෙකුත් රටවල එය ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින අතර බොහෝ දරුවන්ගේ අනාගතය අවදානමට ලක්ව තිබෙනවා. එය සදාචාරාත්මක හා ආර්ථික වශයෙන් පිළිගත නොහැකි දෙයක්. මෙම නව ඉගෙනුම් ඉලක්කය ළඟා විය හැකි සහ උද්‍යෝගයෙන් පිරුණු එකක්.” ඇය වැඩිදුරටත් පවසයි.

මෙහි ලා වේගවත් ප‍්‍රගතියක් ලබා ගත හැකි බව සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් පෙන්නුම් කරයි. කෙන්යාවේ, තාක්ෂණය යොදාගත් ගුරු පුහුණු, ගුරු මාර්ගෝපදේශයන් සහ සිසුන්ගේ මට්ටමට ගැලපෙන අන්තර්ගතයන් සහිත පෙළ පොතක් (ඉංග‍්‍රීසි හා කිෂ්වාහිලි යන භාෂා දෙකෙන්ම) දරුවන්ට ලබා දීමෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා ඇත. ඊජිප්තුවෙහි, රජය සිය විෂයමාලා සහ තක්සේරු ක‍්‍රම වෙනස් කර ඇති අතර, වසර පුරා සිසුන් ඇගයීමට ලක් කරනු ලබයි.

එම ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රධාන අංගය වන්නේ හුදෙක් පාසල් ගිය බවට සහතිකයක් දීම වෙනුවට ඵලදායී ඉගෙනුමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම ය. වියට්නාමයේ, පැහැදිලි හා ව්‍යක්ත ජාතික විෂය මාලාව, පුළුල්ව ලබා ගත හැකි පෙළපොත් සහ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවතීම එරට කැපී පෙනෙන ඉගෙනුම් ප‍්‍රතිඵල සඳහා දායක වී තිබේ. 

අවාසනාවකට, වෙනත් බොහෝ රටවල වත්මන් සංවර්ධන වේගය තවමත් මන්දගාමී ය. පසුගිය වසර 20 තුළ රටවල් තම සාක්ෂරතා දරිද්‍රතාවය වේගවත් අනුපාතයකින් අඩු කරගෙන ඇතත්, පූර්ණ මැඬලීමේ ඉලක්කය 2030 වන විට ළඟා නොවනු ඇත.

සාක්ෂරතා දරිද්‍රතාවය අවම වශයෙන් අඩකින් අඩු කිරීම කළ හැකි නමුත් ඊට දේශපාලන, මූල්‍ය හා කළමනාකරණ වගකීම් ඇතුළු සමස්ත රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ලෝක බැංකු සමූහයේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේමි සාවේද්‍ර මහතා පැවසීය.සාගින්න හෝ අන්ත දුප්පත්කම තුරන් කිරීම මෙන්ම සියලුම දරුවන්ට කියවිය හැකි බවට සහතික වෙමින් සාක්ෂරතා දරිද්‍රතාවය ද මැඬලීම මූලික සංවර්ධන පරමාර්ථයක්.

සෑම දරුවෙකුටම කියවීමට ඉගෙන ගැනීමේ අයිතිය තිබෙනවා. සෑම රටකම දුප්පත්කම තුරන් කළ හැක්කේ කෙසේද සහ කවදා ද යන්න නිර්වචනය කිරීම සඳහා සහ ඉදිරි වසර සඳහා අතරමැදි ඉලක්ක ගොනු කිරීම වෙනුවෙන් ජාතික කතිකාවතක් අවශ්‍ය වෙනවා.” ඔහු තවදුරටත් පවසයි.

මෙම ඉලක්කය කරා ළඟා වීමට රටවල් වලට මෙන්ම ඔවුන්ගේ ජනතාවගේ මානව ප්‍රාග්ධන ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ලෝක බැංකුව විසින් කාර්යය ස්ථම්භ ත්‍රිත්වයක් භාවිතා කරනු ඇත:

  • ඉහළ පරිමාණයෙන් කියවීමේ ප්‍රවීණතාවය ප්‍රවර්ධනයට දායක වන සාක්ෂරතා ප්‍රතිපත්ති මාලාවක් — ප්‍රමාණවත් අරමුදල් සම්පාදනය කරන ලද සැලසුම් මත පදනම් වූ සාක්ෂරතාවක් සඳහා දේශපාලන හා තාක්ෂණික කැපවීම සහතික කිරීම; හොඳින් ව්‍යුහගත හා ඵලදායී අධ්‍යාපනයක් තුළින් කාර්යක්ෂම ඉගැන්වීමක් සහතික කිරීම; දරුවන්ට උචිත මට්ටමින් ඉගැන්වීමට ගුරුවරුන් සූදානම් කරවීම සහ ප්‍රායෝගික පාසල් ගුරු පුහුණුව ලබා දීම; සියල්ලන්ටම කියවීමට අවශ්‍ය සම්පත් ලද හැකි බව සහතික කිරීම; සහ දරුවන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් ඉගැන්වීම.
  • සමස්ත අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා නැවුම් අධ්‍යාපන ප්‍රවේශයක් — ඉන් සාක්ෂරතා වැඩිදියුණු කිරීම් තිරසාරව පවත්වා ගෙන යා හැකි අතර අනෙකුත් සියලුම අධ්‍යාපන ප්‍රගතීන් වෙත ළඟා විය හැකිය. මෙම ප්‍රවේශය කරුණු පහකින් සමන්විත වේ: i) ප්‍රකෘත සහ අභිප්‍රේරිත සිසුන්, ii) ඵලදායී හා වටිනා ගුරුවරුන්, iii) ඉගෙනුම් පහසුකම් සහිත පන්ති කාමර, iv) ආරක්ෂිත සහ සැම දරුවකුට ම විවෘත වූ පාසල්, සහ v) හොඳින් කළමනාකරණය කළ අධ්‍යාපන ක්‍රමයක්. 
  • උද්‍යෝගී ඉලක්ක සහ පර්යේෂණ න්‍යාය පත්‍රයක් — ඉගෙනුම් ඵල සහ ඊට හේතු වන දෑ ඇතුලත් කිරීමට අවශ්‍ය විධි විධානයන් සහ පදනම් කුසලතාවන් ගොඩනංවාලීම සඳහා නව තාක්ෂණය සුහුරුව ක්‍රියාවට නැංවිය හැකි පර්යේෂණයන් හා නවෝත්පාදනයන් ඇති කිරීම.

මහා පරිමාණ, වේගවත් සහ විශාල ජනගහනයක් උදෙසා වෙනසක් අවශ්‍යව ඇත. එය තාක්ෂණය නොමැතිව කළ නොහැකි ය. සියලුම ගුරුවරුන්, සිසුන් සහ පාසල් වෙත සම්පත් ලබාදීම සහතික කිරීම සඳහා විවෘත මූලාශ්‍රිත ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු පද්ධති භාවිතා කරනු ඇත.  

විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල ඉගෙනීම මැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම අවශ්‍ය බව මෙතෙක් ලබා ඇති ප්‍රගති මට්ටම් පෙන්වා දෙයි. ලෝක බැංකු-යුනෙස්කෝ සංඛ්‍යාලේඛන ආයතන හවුල්කාරිත්වය රටවල් වලට ඔවුන්ගේ ඉගෙනුම් තක්සේරුකරණ පද්ධති ශක්තිමත් කිරීමට සහ කාලයාගේ ඇවෑමෙන් සහ ජාත්‍යන්තර මට්ටමින් කාර්ය සාධනය වඩා හොඳින් අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපනය සම්බන්ධ රටේ දත්තවල පුළුල් බව හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. ඊට අමතරව, ලෝක බැංකුවේ නව ඉගෙනුම් ඇගයීම් වේදිකාව හරහා සිසුන්ගේ ඉගෙනීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඇගයීමට ලක් කිරීමට රටවල්වලට හැකි වේ. 

t

o

p