ගොවීන් අද කෝටිපතියන්

October 18, 2019

ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයා සහ සිල්ලර වෙළෙන්දා ලෙස කාගිල්ස් දේශීය ගොවියා සමඟ කටයුතු කිරීම ආරම්භ කරන්නේ මීට වසර 15කට ඉහතදීයි. එතැන් සිට පියවරෙන් පියවර කෘෂි ව්‍යවසායකයා සහ කිරිගොවියාගේ ජීවිත තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට කාගිල්ස් සමත්වී සිටී.

කෘෂි සහ කිරි නිෂ්පාදන නිසි මිලට ගැනීම සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් වැඩි දියිණු කිරීමට ගොවියාට අවශ්‍ය දැනුම සහ පහසුකම් සැපයීමට ඉදිරිපත් වෙමින් කාගිල්ස් විසින් සරුබිම ව්‍යාපෘතිය දියත් කර තිබේ. ඒ හරහා ග්‍රාමීය ජීවනෝපාය වැඩි දියුණු කිරීමටත් සාම්ප්‍රදායික ගොවියා කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමටත් හැකිවීම මෙරට කෘෂිකර්මාන්තය අත්කරගත් ජයග්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකියි.

එසේම කිරි ගොවියාගේ සෑම කිරි ලීටරයකින් සහ කාගිල්ස් වෙතින් මිලදී ගන්නා සෑම එළවළු හා පලතුරු නැවුම් නිෂ්පාදන කිලෝග්‍රෑමයකටම ශත 50 බැගින් එකතු කරමින් සුබසාධන අරමුදලක් පිහිටුවා ගොවි දරුවන් සහ ගොවි පවුල් නඟා සිටුවීම සඳහා ද කාගිල්ස් කටයුතු අරඹා තිබේ. එම කුඩා දායකත්වයෙන් සෑම වසරකම මිලියන ගණනක මුදලක් එක්වී ඇති අතර, එය මේ වන විට රුපියල් මිලියන 26.5ක විසල් එකතුවකි.

මේ අරමුදලින් 15%ක් ගොවි ගම්මාන ජලපවිත්‍රකරණ සහ පුස්තකාල වැනි පොදු සුබසාධන කටයුතු සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි 60%ක මුදල ගොවි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා වෙන් කර තිබේ. ඒ අනුව ගොවි ගම්මානවල පොදු සුබසාධන කටයුතු සඳහා මිලියන 7 ඉක්ම වූ මුදලක් දැනටමත් වැය කර තිබේ.

අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් ශිෂ්‍යත්වයෙන් විශිෂ්ටතා දක්වන දරුවන් සඳහා පාසල් අධ්‍යාපනයට අවශ්‍ය සහාය සැපයීම මෙන්ම උසස් පෙළ සිසුන්ට අමතර පන්ති සඳහා සහාය වෙමින් අමතර පන්ති සඳහා වසර 2ක් පුරා මාසික මූල්‍යමය දීමනා සැපයීමද සිදු කෙරෙයි.

මේ සත්කාරයන් පිළිබඳ අදහස් දක්මින් මහවැලි එච් කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර උභය කල්‍යාණ කුමාර මහතා පැවැසුවේ ගොවීන්ට තමන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන ගැටලු විසඳන්න අමාරු අවධියක දරුවන්ගේ වගකීම භාරගත් කාගිල්ස් සමාගමට අපේ ගෞරවනීය ප්‍රණා‍මය පුද කරනවා යනුවෙනි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කාගිල්ස් පුද්ගලික සමාගමට එළවළු හා පලතුරු ලබාදෙන ගොවීන්ගේ දූ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩමුළුවකදීයි‍‍. මේ වැඩසටහන තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ දී පසුගිය දිනෙක පැවැත්වූ අතර, එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා මෙසේ ද කීය.

‘ගොවියාගේ වස්තුව තමයි තමන්ගේ දරුවෝ, බොහෝ ගොවීන්ට නිදහසේ ගොවිතැන් කරගෙන යන්න විදිහක් නැ, හේතුව නිතරම කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගත ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නයි. ‍කාගිල්ස් සමාගම මේ අන්දමින් දරුවන්ගේ ප්‍රශ්න භාර ගැනීම නිසා ගොවියාට නිවී සැනසිල්ගේ ගොවිතැන් වැඩ ටික කරගෙන යෑමට හැකිවී තිබෙනවා.

කාගිල්ස් සමාගම කරන කාර්යය එක් අතකින් රටට ලොකු ආ‍යෝජනයක් ඒ වගේම මහඟු පින්කමක්. මහවැලි එච් කලාපයේ එළවළු පලතුරු අද වෙනකොට අපතේ යෑම නතරවෙලා. අලුත් තාක්ෂණික ක්‍රම හඳුන්වා දී තිබීම නිසා අස්වනු හානිය අවමවී තිබෙනවා. කාගිල්ස් සමාගම ගොවියාගේ ආකල්ප ධනාත්මකව වෙනස් කළා.‘

මේ පිළිබඳ කාගිල්ස් සමාගමේ සමූහ කළමනාකාර හරිදාස් ප්‍රනාන්දුගේ අදහස වූයේ දිවයිනේ වෙනත් ආයතනවලින් බිහි නොකළ දක්ෂ ගොවීන් බිහි කිරීමට කාගිල්ස් සමාගමට හැකිවීම පිළිබඳ අපි නිහතමානීව සතුට වන බවයි.

‘අපි ගොවීන්ගෙන් එළවළු, පලතුරු එකතු කරන්න පටන් ගන්නා විට සමහර ගොවීන්ට පාපැදියක්වත් තිබුණේ නැහැ. නමුත් අද ගොවීන් කෝටිපතියෝ බවට පත්වෙලා. ඒ ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා‘. යනුවෙන් හෙතෙම පැවැසුවේ සිනාමුසුවයි.

t

o

p