සජිත්ගේ ජය සහතික කරන්න ශ්‍රීලනිප 44ක් එක්වෙති

October 16, 2019

පොහොට්ටුවට පාවාදීම හේතුවෙන් දියවී විනාශ වී යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැකගැනීමට සජිත් ප්‍රේමදාස මහතා හා එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන් 44 දෙනෙක් ප්‍රකාශ කළහ.

හිටපු නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වික්ටර් ඇන්තනී පෙරේරා, වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමැති එස්. තිසේරා, ඌව පළාත් සභාවේ මන්ත්‍රී ආර්. එම්. කේ. බී. මැදවල මහතා ඇතුළු කෑගල්ල, බදුල්ල, ලාහුගල, යටියන්තොට, අරනායක, මඩකලපුව ඇතුළු දිවයි‍නේ උතුරු නැගෙනහිර ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා රැසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් 44 දෙනෙක් සජිත් මහතා හා එක්වන බව ප්‍රකාශ කළහ.

තිරුක්කෝවිල්, මඩකලපුව, මාවනැල්ල, හොරොව්පතාන, මුලතිව්, උදයන්කට්ටු, වාන්කුලම්, අරනායක, යටියන්තොට, ආලයඩිවෙම්බු, මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වයඹ, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් එම පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකයින්, ආසන සංවිධායකවරුන් මෙසේ එක්විය.

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ ඇමැති රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඉදිරියේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වූ මෙම නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් පිළිගත්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලොකු නායකයෝ පොහොට්ටුවට එකතු වූවත් නිදහස් පක්ෂ සාමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබානොදෙන බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා එහිදී පැවැසීය.

t

o

p