අපි විප්ලවීය වැඩපිළිවෙළකින් ශක්තිමත් – ජනතාව කෙරෙහි ඇති ආදරයෙන් භක්තිමත්!

October 14, 2019

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විප්ලවීය වැඩපිළිවෙළකින් ශක්තිමත් බවත් පීඩිත ජනතාව කෙරෙහි ඇති ආදරයෙන් භක්තිමත් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහ සමුළුව ආරම්භ කරමින් කුමාර් ගුණරත්නම් සහෝදරයා පැවසීය.

කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති පෙ.ස.ප. තුන්වැනි ජාතක සමුළුවේ පිළිගැනීමේ දේශනය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

තුන්වන ජාතික සමුළුවේ ලේකම් මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, පුබුදු ජයගොඩ සහ සංජීව බණ්ඩාර සහෝදරවරු මුලින්ම අසුන් ගත්හ.

එසේම සභාපති මණ්ඩලය ලෙස කුමාර් ගුණරත්නම්, චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව යන සහෝදරවරු අසුන් ගත්හ.

කුමාර් ගුණරත්නම් සහෝදරයා සමුළුව අමතමින් කළ දේශනයේ සංක්ෂිප්ත සටහනක් මෙසේය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි පළමු සමුළුව පවත්වපු වෙලාව අපේ රටේ  දේශපාලන සන්ධිස්ථානයක්.  අප කලින් දේශපාලනයේ නිරතව සිටි ව්‍යාපාරය අතහැර දාලා සැබෑ වමේ ව්‍යාපාරයක් ගොඩනගන්න අපට සිද්ධ වුණා. මියැදිච්ච, ජාතිවාදයට, සභාග දේශපාලනයට, පාර්ලිමේන්තුවාදයට යටවී තිබුණු පිරිහී ගිය වමේ ව්‍යාපාරයක් වෙනුවටව සමාජවාදය  අරමුණු කර ගත් පන්තිය මත පදනම් වුණු ජයග්‍රාහී වමේ ව්‍යාපාරයක් ගොඩනගන්න අපි අපේ පක්ෂයේ ආරම්භක සමුළුව පැවැත්වූවා.

ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයෙන් දැඩි මර්දනකාරී තත්වයකට මුහුණ දෙමින් තමයි අපිට පළමු සම්මේලනය පවත්වන්න සිද්ධ වුණේ. රාජපක්ෂ පාලනයේ මර්දන හමුදා විසින් ලලිත්, කුගන් සහෝදරවරු පැහැර ගත්තා. තවමත් තොරතුරක් නැහැ. මේ කතා කරන මමත් ඒ වනවිට පැහැර ගැනීමට ලක් වෙලා ජීවිතයත් මරණයත් අතර හිටියේ. එවැනි මර්දනකාරී තත්වයක් යටතේයි අපට පෙ.ස.ප. ගොඩනගන්න සිද්ධ වුණේ.

මියැදෙමින් තිබුණු වමේ ව්‍යාපාරයට නැවත පණ දෙන්න අපි දේශපාලන කටයුතු ආරම්භ කරද්දී රාජපක්ෂ පාලනය හිතුවා ආරම්භයේදීම අපව තලා පොඩි කර දමන්න. නමුත් අපි සියලු දෙනාම ඒ තත්වයට අභීතව මුහුණ දුන්නා. වම ගැන, ජනතාවව ගැන, වැඩකරන ජනතාව ගැන, සමාජවාදය, කොමියුනිස්ට්වාදය ගැන තියෙන විශ්වාසයෙන් අපි මුහුණ දුන්නා.

ඒ වගේම එදා ඒමර්දන ක්‍රියාමාර්ගවලට පැහැර ගැනීමට වගකියන්න ඕන පුද්ගලයා අද ජනාධිපතිවරණයේ අපේක්ෂයෙක් විදියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ආණ්ඩු විරෝධී දේශපාලන මත දක්වන්නන් දේශපාලන ක්‍රියාකාරිකයන්, ප්‍රගතිශීලි දේශපාලනය කළ ක්‍රියාකාරිකයන්, රාජපක්ෂ පාලනය විවේචනය කළ එම පාලනයේ ඇත්ත තත්වය, වංචා, දූෂණ සහ මර්දනකාරී ස්වභාවය හෙලිදරව් කළ ඒවා විවේචනය කළ මාධ්‍යවේදීන් අතුරුදන් කළා, පැහැර ගෙන ගියා,ඝාතනය කළා. එ  අය දැන් නැවත ජනතාවගෙන් ඡන්දය ඉල්ලනවා. රටේ පාලන බලය ඉල්ලමින් ඉන්නවා. අප මේ තුන්වැනි සමුළුව පවත්වන්නෙ ඒහෙම අවස්ථාවක.

2017 පෙබරවාරි 1 වැනිදා අපි අපේ පක්ෂයේ දෙවැනි සම්මේලනය පැවැත්වූවා. එයත් ඓතිහාසික වශයෙන් වැදගත් සංධිස්ථානයක්. ඒ වනවිට අපේ පක්ෂය තුළ විවිධ මතවාද පැන නැගී තිබුණා. ලෝකය තුළත්, ලංකාව තුළත් විවිධ මතවාද පැන නැගී තිබුණා, සමාජවාදය යල්පැන ගිහින් කිව්වා. කොමියුනිස්ට්වාදය ජයග්‍රහණය කරන්න බෑ කියන අදහස මතු කළා.

මාක්ස්වාදය දැන් යල්පැන ගිහින්, අද දවසට වලංගු නැහැ කියල මතවාද ගොඩනගනු ලැබුවා. සෝවියට් දේශය ඇදවැටුණා, චීනය ධනවාදයට ගියා, ජනතා විමුක්ති පෙරමුණ ධනවාදය ඉදිරිපිට දණ ගැහුවා. මේ ආකාරයට පරාජිත අදහස් සහ අත්දැකීම් මැද ඇති කළ සැක සංකා, දුර්වල මතවාද පක්ෂය තුළත් සංවාදයට ලක්ව තිබුණා. විවිධ දුෂ්කර කොන්දේසි යටතේ අප සියලු දෙනා එම සංවාදයට දායක වෙමින් පක්ෂය මතවාදී ඒකත්වයකට ගෙනාවා.

එවැනි තත්වයක් තුළයි අපි දෙවැනිව සමුළුව පැවැත්වූයේ. අපට තිබුණා විවිධ අදහස්, බහුජනතාව විප්ලවය වටා එකතු කරන්නේ කොහොමද? පීඩිත ජන කොටස් මැද පන්තියේ ජන කොටස් සමාජවාදය වටා ගොඩනගන්නේ කොහොමද කියලා.ඒ සඳහා මාක්ස් ලෙනින්වාදී පදනම මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩපිළිවෙළක් අප පක්ෂය විසින්දීර්ඝ සංවාදයක් හා අධ්‍යයනයක් තුළ තහවුරැ කළා.

අද අපි ඉදිරිපත් කරන්නෙ අන්න ඒ අපේ විප්ලවීය වැඩපිළිවෙළ. කොහොමද සමාජවාදය ගොඩනගන්න අපි සූදානම් වෙන්නෙ කියලා ඒ වැඩපිළිවෙළ තුළ කතා කරන්නේ. ලංකාව තුළ කොහොමද සමාජවාදය ප්‍රයෝගික වෙන්නේ විද්‍යාත්මක වෙන්නේ කියලා අපි ඒ තුළ වැඩපිළිවෙළ කරුණු අවධාරනය කරනවා.

ලෝක ජනතාවට සාමය, සෞභාග්‍යසංවර්ධනය, ආදරය, මිත්‍රත්වය, විශ්වාසය ගොඩනගන්නේ කියන වැඩපිළිවෙළයි ඒ තුළ සාකච්ඡා කරන්නේ. ධනවාදී, ජාතිවාදී දේශපාලනය විසින් විරසක කරලා තියෙන තමිල්, සිංහල, මුස්ලිම් ජනතාව කොහොමද එක කොඩියක් යටතේ, එක වැඩපිළිවෙළක් යටතේ ඒකරාශී කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙළයි අපි අද සාකච්ඡා කරන්නේ.

රෝහණන විජේවීර සහෝදරයා කිව්වා, මම ශක්තිමත් සහ භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක් කියලා. අපි කියනවා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විප්ලවීය වැඩපිළිවෙළකින් ශක්තිමත්. ඒ වගේම පීඩිතජනතාවට ආදරය කරද්දී අපි භක්තිමත්.

මීට සියවසකටත් වැඩි කාලයකට පෙරාතුව රෝසා ලක්සම්බර්ග් කිව්වා ලෝකය ගමන් කරමින් තියෙන්නේ එක්කෝ ම්ලේච්ඡත්වයට නැත්නම් සමාජවාදය දෙසට. අපි කියනවා ලෝකයක් ලෙස අද පඅි ම්ලේච්චත්වයට ගිහින්. එක්කෝ ඒක භාරගන්නඕන, එහෙම නැත්නම් මේ ලෝකය නිවැරදි වැඩපිළිවෙළක් සහිතව සමාජවාදය දෙසට ගෙනියන්න ඕන.

එදා රෝසා ලක්සම්බර්ග් සහෝදරියගේ අදහසඅදට තමයි වඩාත් වලංගු වෙන්නේ. අපිට වෙන තේරීමක් නෑ, නිසැකවම අපි මනුෂ්‍යත්වයෙන් සපිරි සමාජවාදයේ මාවත තෝරා ගන්න ඕන.

එක පැත්තකින් අපි ලෝකයක් ලෙස මුහුණ දෙමින් සිටින දැවැන්ත පරිසර විනාශය. මිහිතලය උණුසුම්වෙලා තියෙද්දි විද්‍යාත්මක අනාවැකි පළ වෙනවා, මිනිස්සු ලෙස මේ ලෝකයේ අපට ජීවත්වෙන්න පුළුවන්කම තියෙන්නේ තව අවුරදුදු 100යි.

ඒ නිසා මේ තත්වය වෙනස් කරන්න ඕන. සියයට එකක් වුණු ලෝකයේ ධනකුවේරයන් ලෝක ධනයෙන් 51% භුක්ති විඳිනවා. මේ ලෝකයේම ඇති නැති පරතරය වැඩි වෙමින් තිබෙනවා. ලංකාවේත් එ්ක වෙන්නේ. ධනවාදයේ ම්ලේච්ඡත්වය වෙනුවට අපට යන්න තියෙන්නේ සමාජවාදය විතරයි.

නොවැම්බර් 16 මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ලලිත් කුගන් සහෝදරවරුඅතුරුදහන් කළ, දහස් ගණනක් අතුරුදන් කළ නායකයෙක් ඇවිත් ඉන්නවා මේ රට හදන්න. එයා කියන්නේ ලී ක්වාන් යූගේ, මහතීර් මොහොමඩ්ගේ පාරේ යන්නේ කියලා. ඒ රටවල්  ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළේ කොහොමද කියලා දන්නවා.

අනිත් පැත්තෙන් දුප්පතුන්ට කිරි වීදුරුවක් දීලා රට ගොඩනගන්න පුළුවන් කියනවා. තව කට්ටියක් කියනවා හොඳ ළමයි බලයට ආවාම මේ සමාජ ක්‍රමය හරි යනවා. මේ හමුදාව, පොලිසිය, නීති, නිලධාරී තන්ත්‍රය හොඳයි, ක්‍රමය හොඳයි. ක්‍රමය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රශ්නයක් තියෙන්නෙ කියන තැනට දුර්වල වෙලා.

අපි නිවැරදි වැඩපිළිවෙළක් සහිතවව, සමාජවාදය ගොඩනැගීම ඉලක්ක කර ගත් වැඩපිළිවෙළක්ව සහිතව දුමින්ද නාගමුව සහේදරයා මැතිවරණයට ඉදිරිිපත් කරලා තිබෙනවා.

වැඩපිළිවෙළක් තිබුණට, ගොවි, කම්කරු ජනතාවෙගේ, මැද පන්තියේ ප්‍රශ්න අඳුන ගත්තට සමාජවාදය උදා වෙන්නේ නැහැ. අපි ආරම්භක සමුළුවේදී කිව්වා පන්තියට පක්ෂයක් කියලා. පන්තියට පක්ෂයක් ගොඩනගන්න තියෙන අපි කැමැත්ත. අභිලාෂය.

හෙට දවසේ අභියෝග ජය ගන්න නම් බහුතර ජනතාවගේ අයිතීන් දිනා ගන්න නම් පන්තියේ පක්ෂය බවට පත් වෙන්න අපට ඕන. ඒ්ක තමයි අපි ඉදිරියේ තිබෙන අභියෝගය. ඒකට වැඩපිළිවෙළක් මදි. ඒකට  නායකත්වයක්, සටන්කාමී නායකත්වයක්ව ඕන.

ඒ නායකත්වය තමයි මේ ඇවිත් ඉන්නේ. විවිධ මර්දනයන්ට ගොදුරු කරද්දී. රතු කොඩිය අත් නොහැර අපිත් එක්ක ඉදිරියට ආවේ. සමහර දුර්වල දුර්වලයන් සතුරන් ඉදිරියේ දණ ගහද්දි, සමාජවාදයේ ගමන අතහරිද්දී ඔබ තමයි මේ දුර ආවේ. ඉතින් ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි, අපට තව බොහෝදුරක් යන්න තියෙනවා.

මේ තුන්වැනි ජාතික මහා සමුලුව අවස්ථාවේ ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, කැපවීම තිබෙනවා, ඉතින් අපි ඒ ගමන ජයග්‍රාහී ලෙස සමාජවාදයෙන් අවසන් කිරීම සඳහා එක්ව ගමන් කරමු.”

t

o

p