මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම

October 11, 2019

කොළඹ, අලූත්කඩේ ප්‍රදේශයේ පැවති මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල රැගෙන අරලියගහ මන්දිරයට මා හමුවීමට පැමිණෙන බව මැද කොළඹ සංවිධායක ෆයිරුස් හජ්ජියාර් මහතා සඳහන් කළා.  නමුත් මම පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසේ ජීවත් වන බව එතුමාට මතක් කර දෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කර ජනාධිපති වූ බවට වන පණිවුඩය මට ලබාදීමේ අවස්ථාව ෆයිරුස් හජ්ජියාර් මහතාට හිමිවන  බවට විශාල විශ්වාසයක් මා තුළ තිබෙනවා.

මැද කොළඹ ඇතුළු රටේ සියලූ ප්‍රදේශවල ජනතාව අද බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙනවා. නමුත් මීට වසර 6-7 කට පෙර පවුල් 500 – 600ක්  කොම්පඤ්ඤවීදියෙන් පළවා හැරියා.  සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට හිරිහැර කිරීම් හා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට බාධා කිරීම් සිදුවුණා. අද එවැනි පරිසරයක් රට තුල ඇත්තේ නැහැ.

මැද කොළඹ ජනතාව ඉවත් කර, ජනගහණය අඩු කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණා. නිවාස වලින් ඉවත්කර 1500 – 2000 අතර පිරිසක් අපි නැවත පදිංචි කර තිබෙනවා. ඉවත් කළ නිවාස වෙනුවට නව නිවාස ලබාදීමට අප කටයුතු කළා. අනාගතයේදී තවත් නිවාස ඉදිකර යළි පදිංචි කිරීම් සිදුකරන බව සඳහන් කරන්න කැමතියි.

ණය ගෙවීමටවත් නොහැකි ආර්ථිකයක් අපි එදා භාර ගත්තා. නමුත් නිසි කළමණාකරණයකින් යුතුව අප කටයුතු කළ නිසා යලි ආර්ථිකය දියුණු වී තිබෙනවා.

රටේ ආර්ථිකය දියුණු වීමත් සමඟ මැද කොළඹ මුදල් සංසර්ණය ඉහල නැංවෙනවා. සියලූ දෙනා අත මුදල් එක් වෙනවා. පොඩි මිනිසුන් රැසක් සිටින ස්වෝත්සාහයෙන් ආදායම් උපයන ජනතාවක් සිටින ප්‍රදේශයක් වශයෙන් මැද කොළඹ හඳුන්වන්න පුළුවන්. රට ඉදිරියට ගෙන යෑමේ සටනේදී මැද කොළඹ ජනතාව පෙරමුණ ගෙන ක්‍රියා කරන බව සඳහන් කරන්න කැමතියි.

එදා මැද කොළඹ ජනතාවට ජීවත්වීමට හෝ මුදල් ඉපයීමට අවස්ථාවක් ලබා දුන්නේ දැයි මම ඔබෙන් අසන්නට කැමතියි. ජනතාව යටපත් කර මුදල් වලින් සාක්කු පුරවා ගැනීමට එදා පාලකයින් කටයුතු කළා. 2015 ජනවාරී 08 වෙනිදා ඒ සියල්ලම අපි නැවතීමේ තිත තැබුවා. තවත් විශාල වැඩකොටසක් කිරීමට ඉතිරි  වී තිබෙනවා.

අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් තවත් වැඩ සටහන් ක්‍රියාවට නැංවිය යුතුව තිබෙනවා. අධ්‍යාපනය දියුණු කරන බවටත්, නව පාසලක් ඉදිකර දෙන බවටත් එදා මම ඔබට පොරොන්දු වුණා. නමුත් පාසලක් ඉදිකර දීමට අවශ්‍ය ඉඩම් තිබුණේ නැහැ. නැවත පදිංචි කිරීම මගින් හිස්වෙන ඉඩම් යොදාගෙන එම පොරොන්දුව ඉටුකිරීමට පියවර ගන්නා බව සඳහන් කරන්න කැමතියි. ඒවගේම විවේකානන්ද ජාතික පාසල, අල් හමීඩියා ජාතික පාසල, කොටහේන මධ්‍ය මහා විද්‍යාලය දියුණු කිරීමටත් නව විද්‍යාලයක් ඇතිකිරීමටත් කටයුතු කරන ලෙස අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමාට මම උපදෙස් ලබාදී තිබෙනවා.

අප පාලනය යටතේ නිසි සැලසුමකට අනුව ක්‍රමානුකූලව කොළඹ නගරය ගොඩනගමින් සිටිනවා. ඒ සමඟම මැද කොළඹට නව ආර්ථිකයක් බිහිවෙන පරිදි මුල්‍ය නගරය ඇති කරනවා. ඉන්දිය සාගරයේ මුල්‍ය නගරය බවට අපි එය පත්කරනවා.

එදා පාලකයින් තට්ටු නිවාස ඉදිකිරීම වෙනුවෙන් වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළා. නමුත් අපි බලයට පැමිණීමත් සමඟ එය සැමට ප්‍රතිලාභ හිමිවෙන මුල්‍ය නගරයක් බවට පත්කිරීමට තීරණය කළා. මුල්‍ය නගරය බිහිවීමෙන් පසුව ඔබටත් මුදල් ඉපයීමේ අවස්ථාව හිමිවෙනවා.  ඒ සඳහා වඩාත්ම සුදුසු මැද කොළඹ බව හඳුනාගෙන අපි වැඩකටයුතු සිදුකරගෙන යනවා.

ඉදිරි වසර 5 – 10ක කාලය තුල සැලසුම් ක්‍රියාත්මක වීම තුල මැද කොළඹ විශාල සංවර්ධනයක් ඇතිවෙනවා. තට්ටු නිවාස සංකීර්ණය ඇතුළු ගොඩනැගිලි ඉදිවීමත් පැරණි ගබඩා ඉවත්කර නව නගරයක් ඇතිකිරීමේ වැඩකටයුතුත් අපි ඉදිරියට ගෙන යනවා. එම වැඩකටයුතු අතර මඟ කඩාකප්පල් කළයුතු නැහැ.

වසර 10ක කාලයක් පාලනය කළ රාජපක්ෂ රෙජිමය කොළඹ ඇතිකළ සංවර්ධනය කුමක්දැයි මම ඔබෙන් අසන්න කැමතියි.

දැන් රට පුරාම දියුණුවක් ඇතිවී තිබෙනවා. මෙම ප්‍රදේශයෙන් ගනුදෙනු සිදුවී මුදල් සංසරණය වැඩී වී තිබෙනවා. මෙම වැඩ පිළිවෙල නතර නොකර ඉදිරියටම ගෙන යා යුතුයි. සුභවාදී අනාගතය හිමි රටක් අපි ගොඩනගමින් සිටිනවා. මේ සියල්ල පසෙකලා බියෙන් සැකයෙන් සිටින රටක් නැවත ඇති කරනවාද, නැතිනම් බිය සැක නැති රටක් ඇති කරනවාද,  බිය නැති රටක් බිහිකිරීමට මැද කොළඹ ජනතාව කටයුතු කරන බව මට විශ්වාසයි.

අපි සියලූ දෙනාම එක්වී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයට පත්කර අප ඇතිකළ බිය සැක නැති රට රැකගන්නා බව මෙහිදී සඳහන් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා වැඩකටයුතු සිදුකළ යුතු වෙනවා. ඒ වගේම මැද කොළඹ දියුණු කර එජාප ප්‍රධාන බලකොටුවක් බවට පත්කිරීමේ ගෞරවය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ට හිමි වෙනවා. එම බලකොටුව අප ආරක්ෂා කර ගනිමින් සිටිනවා. මැද කොළඹ ඡන්ද සියල්ලම ලබාගෙන එදා අපි එතුමා ජනාධිපති ධූරයට පත්කළා. එදා භීෂණයට භය නොවී මැද කොළඹ ජනතාව අපට ඡන්දය ලබා දුන්නා.

ඉදිරි ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය ලබාදී ජයග්‍රහණය කරවා ඔබට හිරිහැර කළ පිරිස පරාජය කරමු. ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී 125කට වැඩි මන්ත්‍රිධූර සංඛ්‍යාවක් ලබාගැනීම කටයුතු කළ යුතුයි. ඒවගේම පළාත් සභා මැතිවරණයත් ජය ගැනීම සඳහා අපි එක්වී කටයුතු කරමු.

ජනාධිපති සටන ජයගෙන අනෙක් මැතිවරණ සටන් පෙරමුණට අපි ගමන් කරනවා. ජනාධිපතිවරයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත්, බස්නාහිර පළාත් සභාවත් ජය ගැනීමට අප ක්‍රියා කරනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, මුජිබර් රහුමාන්, කොළඹ නගරාධිපති රෝසි සේනානායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෆයිරුස් හජ්ජියාර් යන මහත්ම මහත්මීන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

t

o

p