සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව ඇමතු අගමැති

October 10, 2019

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කරලමින් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසත්, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ ඔස්සේ ව්‍යවස්ථාව ඇතුළු සියලූ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ම හා යහපත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමන් කැපවී ක්‍රියා කරන බව පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ සමුළුව අමතමිනි.

මෙහිදී සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ද පිළිගන්වන ලදී.

මිනිස් ජීවිත ආරක්‍ෂා කරමින්, නිදහස අර්ථවත් වූ සමාජ ක්‍රමයක් යහපාලන රජය යටතේ නිර්මාණය කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

රටේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර, නිදහස අර්ථවත් කිරීමට අප ක්‍රියා කළා. ඒ ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා 2019 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

2010 – 2015 කාලය තුළ දී ඒකාධිපති පාලනයක් සහිත රාජපක්‍ෂ රෙජීමයට එරෙහිව අප සියලූ දෙනාම එක්ව සටන් කළා. ඒ වෙනුවෙන් ඔබ සිවිල් සමාජ හා වෘත්තීය සමිති සිදු කළ කැපවීම සහ ජයග්‍රහණය වෙනුවෙන් ගනු ලැබූ පියවර අපට අමතක කළ නොහැකියි. එම නිසා ආණ්ඩු බලය ලබාගෙන පොරොන්දු වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා.

මීට පෙර කථිකයින් ප්‍රකාශ කළ ආකාරයට අප ජීවිත ආරක්‍ෂා කළා. කිසි විටෙක අප ජීවිත අහිමි කළේ නැහැ. නීති විරෝධීව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව අප සිදු කළේ රටේ නීතියට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පමණයි. කිසිඳු අවස්ථාවක අප ඉන් බැහැර වුණේ නැහැ. ඒ තුළින් ඔබේ ජීවිත ආරක්‍ෂා වුණා. අපි ජීවිතයන්හි පාරිශුද්ධභාවය ආරක්‍ෂා කළා.

එය අප ලබාගත් පළමු ජයග්‍රහණය බව සඳහන් කළ යුතුයි. අප පාලන කාලය තුළ සුදු වෑන් මගින් පැහැර ගැනීම් සිදු කළේ නැහැ. ඒ වෙනුවට සියලූ ජීවිත ආරක්‍ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට අප පියවර ගත්තා. ඔබේ ජීවිතය දියුණු කිරීමට අප කටයුතු කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට වගකියන කැබිනට් මණ්ඩලයක් ඇති කිරීමට අප පියවර ගත්තා. 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම සිදු වුණා. එම කොමිෂන් සභා හේතුවෙන් රටේත්, ජනතාවගේත් නිදහස සුරක්‍ෂිත වී තිබෙනවා.

අධිකරණය, රාජ්‍ය සේවය, විගණකාධිපති සේවය, මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුලූ සියල්ල ආරක්ෂා කිරීමට අප කටයුතු කළා. ස්වාධීන කොමිෂන් සභා පත් කර එම කොමිෂන් සභා නිසි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය වටපිටාව අප ඇති කර දී තිබෙනවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස බියෙන් හා බලපෑමකින් තොරව අධිකරණ තීන්දු ලබාදී තිබෙනවා.

පසුගිය කාලය පුරා අධිකරණය තුළින් නිර්භීත තීන්දු ලබාදෙන ආකාරය අපට අසන්නට, දකින්නට ලැබුණා. අධිකරණයේ අපක්‍ෂපාතීත්වය තහවුරු වන තීන්දු රැසක් ලබාදී තිබුණා. දින 52 ක ආණ්ඩු පෙරළි කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සිවිල් සමාජය ඉදිරියට පැමිණ ක්‍රියා කළා. වෙනත් රටවල නොමැති ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට අප කැවීමෙන් ක්‍රියා කළා. රටේ නීති පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙන නිසා පෙර නොතිබුණු විනිවිද භාවයක් රට තුළ ස්ථාපිත වී තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත එයට උදාහරණ සපයනවා. ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම තුළින් එම විනිවිදභාවය වඩා තහවුරු වී තිබෙන බව සඳහන් කරන්න කැමතියි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා මාධ්‍යයට විවෘත කර දී තිබෙනවා. මෙවැනි විනිවිදභාවයක් මීට පෙර තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත් නීති තුළින් අප සෑම අංශයකම විනිවිදභාවයක් ඇති කර තිබෙනවා. පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය වන නීතියක් සම්මත කිරීමට අප පියවර ගත්තා.

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජනවර්ගයකටම එක්ව ජීවත් වීමට අවශ්‍ය සංහිදියාව ස්ථාපිත කිරීමට අප පියවර ගෙන තිබෙනවා. අද රටේ වෛරය පතුරවන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසුව රට තුළ කෝලාහල සිදු වූයේ නැහැ. සියලූ දෙනාම එක්ව එම අවස්ථාවේ දී සාමය ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළා. සංහිදියාව ස්ථාපිත කිරීම තුළින් එවැනි නිදහස් සමාජයක් අප ඇති කර තිබෙනවා.

අප එතැනින් නතර වූයේ නැහැ. සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය අපගේ ආණ්ඩුව යටතේ සිදු කළා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් නව පීඨ ආරම්භ කිරීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය කිරීම වැනි වැඩසටහන් ඔස්සේ කටයුතු කළා. ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ෙක්‍ෂ්ත්‍රය දියුණු කිරීමට හා සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීමටත් අප පියවර ගත්තා. අධ්‍යාපනය හා හැකියාව තුළින් ඉදිරියට පැමිණීමට අවශ්‍ය සහාය ලබා දීමට අප ක්‍රියා කරමින් සිටිනවා. ඒ පිළිබඳව අපට නිහතමානීව සතුටු විය හැකියි.

අපේ අඩුපාඩුකම් තිබිය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පරිසරය රැක ගැනීමට අප විසින් ගත් තීරණ පිළිබඳව මොහොතක් සිතා බලන්න. වසර 20 කට පසුව දිළිඳු ජනතාවට අලූතින් සමෘද්ධි සහනාධාර ලබා දීමට අප ක්‍රියා කළා. මේ සියලූ පියවර විවිධ අභියෝගයන් මධ්‍යයේ ලබාගත් ඒවා බව කිව යුතුයි.

රටේ ණය බර අඩු කර අනාගතය දියුණු කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. මේ සියල්ලම ආරක්‍ෂා කිරීමේ ගෞරවය ඔබ සියලූ දෙනාටත් අත් වෙනවා. 2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත් කිරීමට අප කටයුතු කළා. අනතුරුව පැවැති මහ මැතිවරණයේ දී අපට බහුතර බලයක් හිමි වුණේ නැහැ. එසේ වුවත්, සුළුතර ආණ්ඩුවක් මගින් බහුතරයක් සහිත ආණ්ඩුවකට වඩා විශාල වැඩ කොටසක් සිදු කරමින් ජනතා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට පියවර ගත් බව සඳහන් කළ යුතුයි.

පසුගිය වසර 5 තුළ දිනා දුන් අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කළ යුතුයි. දිනාගත් නිදහස නැවත යටපත් කිරීමට ඉඩ තැබිය යුතු නැහැ. ඒ නිසා ඒ සියලූ අයිතීන් තහවුරු කිරීමට ඉදිරි වසර 5 ක කාලය අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉටු කිරීමට නොහැකි වූ අනෙක් සියලූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීමත් අපට තිබෙනවා.

ලොව බිහි වන නව අයිතිවාසිකම් මෙරට ජනතාවට හිමි වන පරිදි නීතිගත කිරීමට ඉදිරි පාලන කාලය තුළ පියවර ගන්නවා. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට මෙවර අප කැප වී කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යමින් නව නීති සම්මත කර ගැනීමටත්, සම්මත කර ගත් නීති බලාත්මක කිරීමටත් අප කටයුතු කරනවා.

ඒ නිසා පළමුව, ලබාගත් ජයග්‍රහණය ආරක්‍ෂා කර ගත යුතුයි. එසේ නොමැතිව ඉදිරියට යා නොහැකියි. සියලූ දෙනාම එක්ව පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍ර්මදාස මැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටත්, එතුමාගේ ජයග්‍රහණය සඳහා එක්ව කටයුතු කිරීමටත් අප සියලූ දෙනා එකඟ වුණා. ඒ අනුව සජිත් පේ‍ර්මදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම අපේ පළමු පියවරයි. ඉන් පසුව ඉදිරි මැතිවරණයේ දී මන්ත්‍රීවරුන් 125 කට වැඩි බහුතර බලයක් ලබාගෙන ජනතා කැමැත්තෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරමු.

අපේ ගමන ඉදිරියට ගෙන යනවා. නිදහස හා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යමින් ජනතාව රජකරවීමේ සටනට ඔබ සියලූ දෙනා එක්ව සිටිනවා. ඒ පිළිබඳව ඔබ සියලූ දෙනාටම මගේ ස්තුතිය පළ කරනවා.

නැවත රාජපක්‍ෂ යුගයකට යාමට අවශ්‍ය නැහැ. කැමැත්තෙන් අපායට යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොවැම්බර 16 වන දා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයට පත් කර අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍ර්මදාස මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට  මහා සංඝ රත්නය, අන්‍ය ආගමික පූජකතුමන්ලා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

t

o

p