සජිත් ජනාධිපති කරන්න රනිල් ඉදිරිපත් කළ යෝජනාව පාක්ෂිකයෝ අනුමත කරති

October 3, 2019

එක්සත් ජාතික පක්ෂ‍යේ 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත්, එක්සත් ජාතික පෙරමුණෙහි සියළු පක්‍ෂවල හා අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියළු පාර්ශවන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්‍ෂයේ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03) යෝජනා සම්මත කර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දුව අනුමත කිරීමේ යෝජනාව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එම යෝජනාව පැමිණ සිටි පාක්ෂිකයෝ එක හඩින් අනුමත කළහ.

2020 ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිධූර අපේක්ෂක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එ.ජා.ප නායකයන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කළ පාක්ෂිකයන්ගේ ද සහභාගීත්වයෙන් මෙම සම්මේලනය පැවැත්විනි.

එහිදි ඉහත යෝජනාවද සමග යෝජනා හයක් සම්මත කර ගත් අතර එම යෝජනා මෙසේය.

2019 සැප්තැම්බර 26 වන දින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද, “(I) බලය බෙදාහැරීම (II) මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ (III) අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටින්නෙමු. මේ සම්බන්ධව සියළු පාර්ශවයන්ගේ අදහස් ද සැලකිල්ලට ගන්නෙමු.” යන යෝජනාව මෙම සම්මේලනය විසින් යළි තහවුරු කරන්නීය.

පක්‍ෂ ව්‍යවස්ථාවේ 8 (1) (අ) වගන්තියට අනුව 2019 ජනවාරි 24 වන දා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්‍ෂ නායක ධූරය සඳහා ගරු රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ගත් තීරණය මෙම සම්මේලනය විසින් යළි තහවුරු කරන්නීය.

ව්‍යවස්ථා කුමණ්ත්‍රණයක් මගින් දින 52 ක කාලයක් පුරා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයෙන් ඉවත් කර තැබීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත පිළිකුලෙන් හෙළා දකින මෙම සම්මේලනය, ඒ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම සඳහා පෙරට පැමිණි බහුජනතාව වෙත සිය ප්‍රසාදයත්, ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අරභයා ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දු වෙත අගැයීමත්, එකී කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම උදෙසාත්, මහජන අයිතීන් තහවුරු කිරීම සඳහාත් නොබියව හා නොපැකිළව ක්‍රියා කළ කථානායක කරු ජයසූරිය මහතා වෙත ගෞරවනීය ආචාරයත් පුද කළ යුතු බවට යෝජනා කරන්නීය.

සුළුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් මගින් දේශය ඉදිරියට ගෙන යෑමේ අභියෝගාත්මක වෑයමෙහි නිරත වෙද්දී, යම් යම් අගතිගාමී හා දුෂ්ඨ බලවේගයන්ගේ බලපෑම් මතුවන බවත්, ඒ බලපෑම් සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කරලීමට පාදක වන බවත් අවබෝධ කරගෙන ඇති මෙම සම්මේලනය, ඉදිරියේ ඒ සකලවිධ දුෂ්ඨ බලවේගයන් යටපත් කළ හැකි අන්දමේ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා එළැඹෙන ජනාධිපතිවරණය පිමිපුවරුවක් කර ගත යුතු බව යෝජනා කරන්නීය.

දේශපාලන පළිගැනීම් මගින් ශාරීරික හා දේපල හානි සිදුවූවන්ගෙන් කොටසකට සෑහීමකට පත් විය හැකි වන්දි ගෙවීම හා තවත් කොටසකට වන්දි ගෙවීමේ සැලසුම් සැකසෙමින් තිබීම අගය කරන අතර, මෙම කුලකයට අයත් සමහරුන්ගේ පැමිණිලි අස්ථානගත වී ඇති හෙයින් ඔවුනට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත සහන කාලයක් ලබා දිය යුතු බව අවධාරණය කරමින්, රාජ්‍ය සේවයේ පළිගැනීමට ලක්වූවන්ට සහන ලබා දීමේ ක්‍රියාවලිය තව තවත් කඩිනම් හා පහසු කරලීම උදෙසා ඒ ඒ විෂය භාර ඇමතිවරුන්ට බලය ලබා දෙන ලෙස ද, ජනාධිපතිවරණයෙන් වසරක් තුළ සියළු දේශපාලන පළිගැනීම් සඳහා සහන සලසන ලෙස ද මෙම සම්මේලනය යෝජනා කරන්නීය.­­


t

o

p