එමිරේට්ස් වෙතින් ඔක්තෝම්බර් 01 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන්

October 1, 2019

කොළඹ සිට ඩුබායි හරහා යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවය තුළින් පියාසර කරන මගීන්ට ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මුල කාලයේදී ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ.

සැප්තැම්බර් 24 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ප‍්‍රවේශපත් මගින් දෙසැම්බර් 10 වනදාට පෙර මෙම මහද්වීප තුනේ ගමනාන්ත වලට සංචාරය කරන ගුවන් මගීන්ට ගමන් කරන පන්තිය අනුව ඩුබායි හි සුඛෝපභෝගී හෝටල්වල එක් රාත‍්‍රියක් හෝ රාත‍්‍රී දෙකක් නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාව ඩුබායිහි පැය 10 ක් හෝ එයට වඩා වැඩි ට‍්‍රාන්සිට් වේලාවක් ගත කරන එමිරේට්ස් ගුවන් සමාගමේ සියළුම ඉකොනොමි, ව්‍යාපාරික හෝ පළමු පන්තියේ ගුවන් ටිකට් පත් සඳහා ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

එමිරේට්ස් ෆස්ට් ක්ලාස් හෝ බිස්නස් ක්ලාස් ගුවන් ටිකට් පත් මිලදී ගන්නා මගීන්ට ඩුබායි හි, සුප‍්‍රකට හෝටල් දෙකක් වන Address Downtown හෝ Address Dubai Mall හි, රාත‍්‍රී දෙකක් නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව ලබාදෙන අතර ඉකොනොමි පන්තියේ ගුවන් ටිකට් පත් මිලදීගන්නා මගීන්ට ඩුබායි හි, Rove at the Park හෝ Rove Healthcare හෝටල්වල එක් රාත‍්‍රියක් නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව ලබාදෙනු ඇත. මෙම අවස්ථාවන් දෙකම ලබාදෙන්නේ කාමරය පමණක් නොමිලේ ලබාදෙන පදනමට අනුව බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

‘නොවැම්බර් සහ දෙසැම්බර් ඩුබායි වෙත සංචාරය කිරීමට හොඳම කාලයක්. විශේෂයෙන්ම එළිමහනේ විනෝදවීමට මෙම කාලය යෝග්‍ය වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් සමාගමේ කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘මෙම කාලයේදී නොමිලේ හෝටල් කාමරයක් ලබාදීම ඉහළ අගය එකතු කිරීමක් වන අතර මේ තුළින් ගමනාන්ත දෙකක අත්දැකීම එක් සංචාරයක් තුළින් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා.’

මෙම දීමනාව සති 10 ක් සඳහා වලංගු වන අතර නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා සතිය තුල පමණක් නොමිලේ හෝටල් නවාතැන් පහසුකම් ලබා නොදෙන බව සමාගම පවසයි.

මෙම දීමනාව යටතේ එක් ගුවන් ටිකට් පතක් සඳහා වැඩිහිටියෙකුට තනි කාමරයක් හෝ එක්ව ගමන් ගන්නා වැඩිහිටියන් දෙදෙනෙකුට නවාතැන් ගත හැකි ඩබල් කාමරයක් ලබාදෙන බව එමිරේට්ස් සඳහන් කරයි. මෙම කාමරවල අවුරුදු 12 කට අඩු එක් දරුවෙකුට දෙමව්පියන් සමග තිබෙන ඇඳන් වලම නවාතැන් ගත හැකි අතර මෙම දීමනාවට ඩුබායි වීසා අඩංගු නොවේ.

විනෝදාස්වාදය සහ සංචාරක අත්දැකීම් ලබාගැනීමේ ලෝකයේ අද්විතීය ගමනාන්තයක් වන ඩුබායි හිදී නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව ලබාදෙන මෙම වකවානුවේදී සංස්කෘතික, සංගීත සහ ක‍්‍රීඩා සම්බන්ධ දැවැන්ත වැඩසටහන් ක‍්‍රියාත්මක වනබව සමාගම සඳහන් කරයි.

එමිරේට්ස් සමාගම 1986 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන අතර ඩුබායි වෙත දිනකට සිදුකරන ගුවන් ගමන් වාර 03 ක් මගින් ශ‍්‍රී ලංකාව මහද්වීප හයක ගමනාන්ත 158 ක් වෙත සම්බන්ධ කර තිබේ. 2019 නොවැම්බර් 30 වනදා සිට කොළඹ සිට දිනකට ගුවන් ගමන් වාර 04 ක් කි‍්‍රයාත්මක කිරීමට සමාගම තීරණය කර ඇත.

t

o

p