ජනප්‍රිය පාසල් නිසා සංස්කෘතිය විනාශ වෙලා

September 11, 2019

ජනප්‍රිය පාසල් පසුපස හඹා ගොස් දරුවන් සහ දෙම්ව්පියන් දුක් විඳි කාලය අවසන් බවත් වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ ගමේ පාසල් සංවර්ධනය උදෙසා අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති රුසක් ක්‍රියාවට නංවා ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල්හි ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත්කිරීමේ ජාතික වැඩසටහන යටතේ පිටබැද්දර ඩඩ්ලි සේනානයක විද්‍යාලයීය දෙමහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත්කිරීමේ උත්සවය හා එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය අධ්‍යාපනය වෙත යොමුකරන තරමේ අවධානයක් වෙන කිසිඳු රජයකින් යොමූ නොවූ බවයි.

“ මට මතකයි අපි පාසල් ගිය කාලය. අපේ පාසලට ආවා දරුවන් රට වටේම පාසල් කිහිපයක අධ්‍යාපනය ලබලා.  ඒ මොකද  කියලා බැලුවම ඔවුන්ගේ දෙමව්පියන් එක්කෝ දිසාපතිවරු නැත්නම් රාජ්‍ය සේවයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි අය. ඒ නිලධාරීන් ප්‍ර‍දේශයෙන් ප්‍ර‍දේශයට මාරු වෙද්දී  තමන්ගේ දරුවන්වත් අරගෙන ගියා. අපි පාසල් යද්දී මේ ජනප්‍රිය පාසල් තත්ත්වය තිබුණේ නැහැ. හැම පාසලක්ම එක මට්ටමකට ගෙනයන අදහසින් කටයුතු කළේ.

නිලධාරීන් මාරුවෙද්දී තමන්ගේ දරුවන් අරගෙන යනවා ඔවුන් තම නිල නිවසේ පදිංචිව ඉන්නවා. දරුවන්ව ළඟම පාසලකට යවනවා. එවැනි තත්ත්වයක් තමයි තිබුණේ. මගේ පියාත් මුලින්ම ගියේ ගමේ පාසලට. එතනින් තමයි ගමන ආරම්භ කළේ. මේ ප්‍රදේශවල බොහෝ ප්‍ර‍භූවරුන්ගේ දරුවෝ ගියේ ගමේ පාසලට.

පසුකාලීනව තමයි ඒක වෙනස් වුණේ. මේ ජනප්‍රිය පාසල් කතන්දරය ආවේ ඊට පස්සේ.  ගමේ පාසල හිමින් අමතක වෙන්න පටන්ගත්තා. ඒත් බලන්න දෙමව්පියෝ විඳින දුක ජනප්‍රිය පාසලකට දාගන්න බැරි වුණාම. ඔවුන් කොයිතරම් දුක් වෙනවද කණගාටු වෙනවද. කොයිතරම් උත්සාහ කරනවද, වියදම් කරනවද දරුවන්ව ජනප්‍රිය පාසල්වලට දාගන්න. කොහොමහරි දරුවව දාගත්තොත් ඊට පස්සේ කරන්න තියෙන වියදම කොයිතරම්ද. දරුවා පාසල් යන්නේ වෙන කාගෙ හරි ගෙදරක ඉඳලා. දෙමවිපියෝ දකින්නෙ මාසකෙට සැරයක්. ඒ මුළු රටාවම ගැන හිතලා බලන්න. අපි බලාපොරොත්තු වෙන ජීවිතය ඒක ද.

රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන දේ නම් ඒක නෙවෙයි. හැම පාසලක්ම හොඳ පාසලක් කරන්න ඕන. ඒ වගේම දරුවන්ව ළඟම පාසලට ගෙනයන්න පුළුවන් වෙන්න ඕන. දෙම්ව්පියන්ගේ ගෙදර ඉඳන්, දෙමව්පියන්ගේ ආරක්ෂාව ඇතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකිවෙන්න ඕන. දෙමව්පියන්ගේ වියදම පාලනය කරන්න ඕන.

ඒ අනුව මේ හැම දෙයක්ම ගැන හිතලා අපි නැවත පැරණි කාලයේ තිබුණ ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය යටතේ මේ වැඩසටහන පටන්ගත්තා……” යැයි ද ගරු සාගල රත්නායක අමාත්‍යවරයා  එහිදී වැඩිදුරටත් පැවසීය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ වසර 05 ක් තුළ පාසල් 9000 ක ව්‍යාපෘති 18 000 ක් ක්‍රියාත්මක වනු ඇත. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් කෝටි 6500 කි. මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍ර‍තිඵලයක් ලෙස ගුරුවරුන්ගේ වැටුප් ඉහළ දැමීම, පාසල් දරුවන්ට රක්ෂණ ආවරණ සලසාදීම, නව ගුරුවරුන් බඳවාගැනීම, කුඩා පාසල්හි දරුවන්ගේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය හා ඒ සඳහා ගුරුවරුන් පත්කිරීම, 13 වසරක අධ්‍යාපන වැඩසටහන ආරම්භ කිරීම,  යනාදී වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

මේ යටතේ ඊයේ ගරු අමාත්‍යවරයාගේ සුරතින් පාසල් 03 ක ගොඩනැගිලි 04 ක් සිසු අයිතියට පත් කිරීම සිදු කෙරිණ. එහිදී රුපියල් ලක්ෂ 310 ක වියදමෙන් ඉදිකළ දෙනියාය වරල්ල එම්.ඩී. යාපා මහා විද්‍යාලයීය තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම, රුපියල් ලක්ෂ 120 ක මුදලක් වැය කළ හක්මණ ගින්නලිය මහා විද්‍යාලයීය ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සහ රුපියල් ලක්ෂ 310 ක මුදලක් වැය කරමින් ඉදිකළ දෙනියාය පිටබැද්දර ඩඩ්ලි සේනානයක විද්‍යාලයීය තෙමහල් ගොඩනැගිලි  ද්විත්වය ද විවෘත කොට ඒවා සිසු අයිතියට පත්කිරීම සිදුකෙරිණ.

t

o

p