ග්‍රාමීය සංවර්ධනයට ලක්ෂ 50ක මුදලක්

September 11, 2019

පසුගිය වසර 04ක කාලය තුල ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අප ආයෝජනය කළ මුදල් ප්‍රමාණය මෙරට ඉතිහාසයේ කිසි දිනක කිසිවෙකු විසින් ලබාදී තිබුණේ නැහැ.  ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් හෝ ලැබී තිබෙනවා. පළමු වසර දෙකක කාලය තුල සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදීමට අප පියවර ගත්තා. ඒ අනුව මේ වන විට විශාල මුදලක් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ලබාදී තිබෙනවා. ඒවගේම ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් තවත් මුදල් සංවර්ධනය වෙනුවෙන් ලබාදීමට පියවර ගත් බව සඳහන් කිරීමට කැමතියි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල මාර්ග සංවර්ධනය, රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් පාසල් ගොඩනැගිල් ලබාදීම, නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකිරීම වැනි විශාල වැඩකොටසක් අප සිදුකර තිබෙනවා. ඊට අමතරව ග්‍රාමීය ප්‍රදේශ තුල පිහිටා තිබෙන විහාරස්ථාන, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් මුදල් ලබාදී තිබෙන බවත් සඳහන් කළ යුතුයි. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් මීට පෙර කිසිදු රජයක් ලබා දී නැහැ.

යුද්ධය නිසා මෙරට සංවර්ධනය අඩාල වී තිබුණා. යුද්ධය අවසන්වීමත් සමග යුද්ධය වෙනුවෙන් වැය වූ මුදල් ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා යෙදවීමට අප පියවර ගත්තා. නගරයට පමණක් සංවර්ධනය සීමා කිරීමට අප කටයුතු කළේ නැහැ. ඉහල සිට පහලට ගලා යන සංවර්ධනයක් ඇති කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි. සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් සිදුවන නිසා එම ව්‍යාපෘති විවෘත කිරීමට කාලයක් නොමැතිවීමෙන් සංවිධායකවරු හා මන්ත්‍රීවරුන් ගැටලූවකට මුහුණ දී තිබෙනවා. ඇතිකළ ව්‍යාපෘති විවෘත කිරීමට කාලයක් නොමැතිවන තරමටම විශාල සංවර්ධනයක් අප සිදුකර තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල ඇස්තමේන්තු සකස් කරන තාක්ෂණ නිලධාරීන්ගේ කාලය ප්‍රමාණවත් නොවන තරමටම විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අප ලබා දී තිබෙනවා. ගම්පෙරළිය, රන් මාවත්, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන් මගින් විශාල මුදල් ප්‍රමාණයක් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ලබාදී තිබෙනවා. එවැනි යෝධ සංවර්ධනයක් සිදුවන අතරතුර අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීමටත් අප අමතක කළේ නැහැ.  අද දිනයේත් අලූතින් සමෘද්ධි සහනාධාරය ලබාදීමට අප පියවර ගත්තා. ප්‍රදේශයේ අලූතින් සමෘද්ධි සහනාධාර ලැබිය යුතු අනෙක් පිරිසටත් මෙම සහනාධාරය ලබාදෙනලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා.

ග්‍රාමීය ජනතාවට ලැබෙන සමෘද්ධි සහනාධාරයේ මුදල් තම ප්‍රදේශයේම වියදම් කිරීම තුලින් ග්‍රාමීය සංවර්ධනයට විශාල රුකුලත් ඉන් ලැබෙන බව කිව යුතුයි. සටන් පාඨ කියමින් අඬබෙර ගසමින්  නොසිට රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩකොටස අප සිදුකර තිබෙනවා. සමෘද්ධි සහනාධාර ලබාදීම. අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීම, ඉඩම් ඔප්පු ලබාදීම තුලින් ග්‍රාමීය සංවර්ධනයේ පළමු අදියර ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

මෙම සංවර්ධනය ලබන වසර 05 තුල දෙගුණ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. වෙනත් කිසිවෙකුට මෙවැනි සංවර්ධනයක් සිදු කරන්න බැහැ. වසර 25 කින් සමෘද්ධි සහනාධාර අලූතින් ලබාදීමට නොහැකි වුණා. නමුත් දැන් අපි අඩු ආදායම්ලාභින් වෙත අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීමට අපි පියවර ගෙන තිබෙනවා. පසුගිය පාලන කාලය තුල මාර්ග දියුණු කිරීමට අප කටයුතු කළා. ඒ පිළිබඳව බුද්ධියෙන් විමසා බලන්න. අප සිදුකළ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඔබට දැනගත හැකියි.

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කරන ඉල්ලීම් සඳහා මුදල් ලබාදී එම සංවර්ධන වැඩකටයුතු යථාර්ථයක් බවට පත්කිරීමට අප කටයුතු කළා. සියලූ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වෙනම ඒකකයක් මගේ අමාත්‍යාංශය තුල මම පිහිටුවා තිබෙනවා. සංවර්ධනයේ කේන්ද්‍රය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හඳුන්වා දිය හැකියි. 

ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ප්‍රකාශ කළ ආකාරයට වජිර අබේවර්ධන ඇමතිතුමාගේ නායකත්වයෙන් එම අමාත්‍යාංශය මගින් බෙන්තර ඇල්පිටිය හැරුණු විට අනෙක් සෑම ප්‍රදේශයකටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකර දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම  ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට බෙදා තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. ග්‍රාමීය වැඩකටයුතු පහසුවෙන් සිදුකිරීම සඳහා මෙම කාර්යාල ඉදිකරන බව සඳහන් කරන්න කැමතියි. එම ආයතනවල සේවය කරන රජයේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අප පියවර ගත යුතුයි. ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමටත් අප පියවර ගන්නවා.   

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩකටයුතු සිදුකරන ගයන්ත කරුණාතිලක ඇමතිතුමාත්, මෙහිදි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සව කිහිපයකටම සහභාගි වීමට මට අවස්ථාව ලැබුණා. මෙම ආණ්ඩුව තරම් ගමට වැඩකළ තවත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා වගේ බද්දේගමට වැඩකරපු පුද්ගලයෙක් නැති බව සඳහන් කරන්න කැමතියි. ඔහු විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමට මම සිවු වරක් බද්දේගමට පැමිණ තිබෙනවා.

පසුගිය වසර හතරක කාලය තුල විශාල සංවර්ධනයක් බද්දේගමට සිදුකර තිබෙනවා. මීට පෙර අවස්ථා ගණනාවකදී බද්දේගමට පැමිණීමට මට අවස්ථාව ලැබුණා. 1977 කාල වකවානුවේ වික්‍රමතිලක මැතිතුමා සිටින අවධියේ මම මෙම ප්‍රදේශයට පැමිණියා. නමුත් මෙවැනි විශාල වැඩකොටසක් සිදුකළ කාලයක් මට මීට පෙර දැක ගැනීමට හැකිවුණේ නැහැ.  එවැනි සංවර්ධනයක් වෙනුවෙන් කැපවීමෙන් වැඩකටයුතු සිදකරන බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමාට  මම ප්‍රශංසා කරන්න කැමතියි.

ගාල්ල දිස්ත්‍රික්කය තුල කැපවීමෙන් වැඩකටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි සිටිනවා. ඔබ සියලූ දෙනාම වෙනුවෙන් විජේපාල හෙට්ටිආරච් මැතිතුමාගේ උපන්දිනයට සුභ පැතුම් එක් කරනවා.  මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

t

o

p