දකුණු පළාතටත් හැඳුනුම්පත් ලබාගැනීමට කාර්යාලයක්

September 10, 2019

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ගාල්ලේ දී පැවසීය.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාවල ඇතුළත් තොරතුරු මෙන්ම, අනෙකුත් සියලූ තොරතුරු අනාවරණය කරගනිමින් සත්‍යය සොයා ගැනීමට එවැනි ස්වාධීන ජනාධිපති කොමිසමක් මගින් හැකි වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

දැනට පත් කර තිබෙන ජනාධිපති කමිටුවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවන් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බැවින් එම වාර්තාවන් ද පදනම් කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලා මාස 6 – 7 ක් ඇතුළත ජනතාවට සත්‍යය අනාවරණය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට එවැනි කොමිසමක් ඉවහල් වන බව ද පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස අප ගත් ක්‍ෂණික ක්‍රියාමාර්ග නිසා මාස දෙකක් ගත වීමට පෙර ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම සොයා ගෙන ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් එක්දින සේවය යටතේ හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහන අද ගාල්ලේ දී ආරම්භ කිරීමට හැකි වුණා. මීට පෙර මෙම සේවය බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තුව හරහා පමණක් ජනතාවට ලබාදුන්නා. රටේ ඕනෑම පුද්ගලයෙකුට වැඩකටයුතු සිදු කිරීමට තම හැඳුනුම්පත අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල වගේම අපේ රටේත් හැඳුනුම්පත අනිවාර්ය සාධකයක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම ඇතැම් රටවල හැඳුනුම්පත්වල තමන්ගේ තොරතුරු සියල්ලම අඩංගු වනවා. තාක්‍ෂණය දියුණුවත් සමග හැඳුනුම්පත එවැනි තත්වයකට පත්ව තිබෙනවා.

දැනට හැඳුනුම්පත් ලබාදීම බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පමණක් සිදුවූ නිසා සියලූ දෙනාටම හැඳුනුම්පත් ලබාගැනීමට කොළඹට පැමිණීමට සිදුවුණා. ඒ වෙනුවෙන් දින දෙක තුනක් ගත කිරීමට සිදුවෙනවා. ජනතාවට හැඳුනුම්පත් ලබාගැනීම පහසු කිරීම වෙනුවෙන් මෙම සේවය විමධ්‍යගත කිරීමට අප තීරණය කළා. එහි පළමු පියවර වශයෙන් පළමු කාර්යාලය මෙලෙස ගාල්ලේ ආරම්භ කරනවා.

මේ තුළින් සාමාන්‍ය ජනතාවට විශාල සේවයක් ඉදිරියේ දී සැලසෙනවා. උතුරු පළාත ඇතුළු අනෙකුත් පළාත්වලත් මෙවැනි කාර්යාල විවෘත කිරීම මගින් එම ප්‍රදේශයන්හි ජනතාවට වාසි අත්වෙනවා. බොහෝ අයට කොළඹට පැමිණෙන්නේ නැතිව විමධ්‍යගත කාර්යාල හරහා අදාළ සේවා ලබාගත හැකියි. ඒ නිසා මෙම වැඩකටයුතු සිදුකළ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටත්, විෂය භාර ඇමැතිතුමාටත් මගේ ස්තූතිය පළ කරනවා.

මෙය ජනතා සේවයක්… ඒ වගේම ඉදිරි වසර 4-5 තුළ තාක්‍ෂණය සම්පූර්ණයෙන්ම යොදාගෙන වුවමනා කරුණු සියල්ලක්ම හැඳුනුම්පතට ඇතුල් කිරීමට අප පියවර ගත යුතුයි. රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව සැලැකීමේ දී පුද්ගල තොරතුරු හැඳුනුම්පතට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව හැඟීයනවා.

මෙම සේවයේ වාසිය ජනතාවට ලබාදීමට වජිර අබේවර්ධන ඇමැතිතුමා විශාල කැපවීමකින් කටයුතු කළා. ඒ වගේම දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු කාර්යක්‍ෂම කිරීමටත් එතුමා කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල දියුණු කිරීමටත් එතුමා විශාල වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පහසුකම් සියල්ලම ඇතුළත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි විවෘත කිරීමට මමත් සහභාගී වී තිබෙනවා.

ඕනෑම ප්‍රදේශයක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බව සඳහන් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කර කාර්යක්‍ෂම සේවාවක් සැපයීම තුලින් ග්‍රාමීය ජනතාවට ඉන් විශාල සෙතක් සැලසෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් වජිර අබේවර්ධන ඇමැතිතුමා සිදුකරන වැඩකටයුතු පිළිබඳව මම අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ගාල්ල දිස්ත්‍රික්කය හා ගාල්ල නගරය වෙනුවෙන් එතුමා විශාල සේවයක් සිදුකර තිබෙනවා. ඒ වගේම කැපවුණු අමාත්‍යවරයෙකු වන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාත් ගාල්ල වෙනුවෙන් විශාල සේවයක් සිදුකරමින් සිටිනවා.

ගාල්ල ප්‍රදේශය ලෝකයේ ප්‍රසිද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. මෙවැනි කැපවීමෙන් කටයුතු කරන ඇමැතිවරු දෙදෙනෙක් සිටීම මෙම ප්‍රදේශයට වාසියක් බව සඳහන් කරන්න කැමැතියි. ඒ වගේම ක්‍රියාකාරී මන්ත්‍රීවරු 4 දෙනෙකු සිටිනවා. අද උපන්දිනය සමරන විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා මෙන්ම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා, මනූෂ නානායක්කාර මැතිතුමා, පියසේන ගමගේ මැතිතුමා ප්‍රදේශය දියුණු කිරීමට කැපවී සිටින බව සඳහන් කළ යුතුයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල වී දින කිහිපයකට පසු වජිර අබේවර්ධන අමාත්‍යවරයා මා හමු වුණා. “අගමැතිතුමා, අපි නොදන්න බොහෝ දෙනෙක් මෙරටට ඇවිත් මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කරනවා” යැයි එතුමා මට එහිදී ප්‍රකාශ කළා. ඒ අනුව, ඒ පිළිබඳව සොයා බලා වීසා නොමැතිව රටේ රැඳී සිටින පුද්ගලයින් රටින් පිටුවහල් කිරීමට අප කටයුතු කළා. ඉගැන්වීමේ කටයුතු සඳහා මෙරටට පැමිණෙනවා නම් රටේ නීතියට අනුව මෙරටට පැමිණිය යුතුයි. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියත් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් එක්ව අවශ්‍ය තොරතුරු ලබාදුන්නා. මේ අපි ලබාගත් එක් ක්‍ෂණික පියවරක් පමණයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ සිට අප ලබාගත් ක්‍ෂණික පියවර නිසා මාස දෙකක් ගතවීමට පෙර ප්‍රහාරයට සම්බන්ධ වූ කාණ්ඩායම සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබුණා. මම මැයි මාසයේ ගාල්ලට පැමිණෙන විට ගාල්ල ප්‍රදේශයේ මෙන්ම, රටේ බොහෝ ප්‍රදේශවලත් ගනුදෙනු සිදුවූයේ නැහැ. දරුවන් පාසල්වලට යැවීමට මව්පියන් බිය වුණා. රාත්‍රී කාලයේ කිසිවෙකුත් නිවෙස්වලින් බැහැරව ගියේ නැහැ. සංචාරකයින්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමක පැවැතියා.

බෝම්බ පිපිරීමත් සමග බොහෝ දෙනෙක් රට කඩා වැටී අවසන් යැයි පැවසුවා. රට වැටුණු තත්ත්වයෙන් ගොඩගන්නේ කෙසේද, සංචාරකයින් පැමිණෙයිද, ආර්ථිකය ගොඩගන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තිබුණා. ඒ නිසා ඒ සියල්ලූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ලෙස තීරණ ගැනීමට අපට සිදුවුණා.

පළමුවෙන් ප්‍රහාරයේ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම අත්අඩංගුවට ගැනීම් සඳහා මුස්ලිම් ප්‍රජාවගෙන් විශාල සහයක් ලැබුණා. පළමු සතිය තුළ ප්‍රහාරවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. විදෙස් ගතව සිටි සැකකරුවන් මෙරටට රැගෙන ඒමට කටයුතු කළා. මේ වනවිට 200 කට අධික පිරිසක් පොලිස් රැදවුම් භාරයේ සිටිනවා. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වූ හා පුහුණුව ලැබූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ප්‍රහාරයට සම්බන්ධ නොවුණත්, බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වූ සියලූදෙනා පිළිබඳවත් පරීක්‍ෂණ පැවැත්වෙනවා.

මාස දෙකක් තුළ සැකකරුවන් හා ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ සියලූ දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකි වීම පිළිබඳ ජාත්‍යන්තරය මවිතයට පත්වුණා. පරීක්‍ෂණවලට දේශපාලන අතපෙවීම් සිදුකිරීමට අප ඉඩතැබුවේ නැහැ. පරීක්‍ෂණ කණ්ඩායම්වලට ස්වාධීනව තම රාජකාරී කළ හැකි වටපිටාවක් අපි සකස් කර දුන් බව සඳහන් කරන්න කැමැතියි.

ඉතා ඉක්මනින් ත්‍රස්තවාදය මර්දනය කළ යුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නව නීති ගෙන ඒමට අපි පියවර ගන්නවා. දෙවනුව ජනතාව තුළ ඇති බිය නැති කිරීමට කටයුතු කළා. පොසොන් පොහොය දිනයේ දී ජනතාව ගම් මට්ටමින් සංචාරය කළා. ඇසල පොහොය වනවිට රට වටා ගමන් කිරීමට හැකි වන පරිදි පසුබිම අප සකස් කළා. මේ වනවිට ජනතාව තුළ තිබූ බිය කෙමින් කෙමින් නැතිවෙමින් තිබෙනවා. පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අපට හැකි වුණා. පළමු දින කිහිපය තුළ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවුණා කියා පාසල් වසා දමන්නැයි ඇතැමුන් ඉල්ලීම් කළා. නමුත් අපි පාසල් සති 2-3 ක් ගෙන යන බව සඳහන් කර දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තබා ගැනීමට පියවර ගත්තා. රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑම සාමාන්‍ය පරිදි සිදුවුණා.

අපට තවත් ප්‍රශ්න දෙකකට මුහුණදීමට සිදුවුණා. මැයි සහ ජුනි මාසවල රජයේ ආදායම සීඝ්‍ර ලෙස පහත වැටුණා. ගනුදෙනු සිදු වුණේ නැහැ. ව්‍යාපාර ක්‍රියාත්මක නොවීම නිසා ආදායම් බදු අහිමිවුණා. එම මාස දෙක තුළ විශාල පාඩුවක් රජයට සිදුවී තිබෙනවා. නමුත් දැන් මුදල් යොදවා තිබෙන නිසා සැප්තැම්බර් මාසයේ සිටම ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා. මෙම සිද්ධියෙන් ව්‍යාපාරවලට බලපෑම් එල්ල වුණා. ව්‍යාපාරවලට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි වුණා. ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටළුවලටත් විසඳුම් ලබාදීමට අපි පියවර ගනිමින් සිටින බව සඳහන් කළ යුතුයි.

ආර්ථිකයට අවශ්‍ය මුදල් ලබාදිය යුතු නිසා ගම්පෙරළිය වැනි වැඩසටහන්වලින් ග්‍රාමීය ආර්ථිකයට මුදල් යෙදවීමට අපි පියවර ගත්තා. සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම නිසා විශාල හෝටල්, “හෝම්ස්ටේ”, කඩ සාප්පුවලට විශාල බලපෑම් එල්ල වුණා. ඒ නිසා සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කිරීමට අපට අවශ්‍ය වුණා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග වසර දෙකක් පමණ ගත වන තුරු සංචාරකයින් නොපැමිණෙතැයි බොහෝ දෙනෙක් පැවසුවා. නමුත් අපි ක්‍ෂණිකව ක්‍රියාත්මක වී සංචාරකයින්ගේ පැමිණීම ඉහල නැංවීමට පියවර ගත්තා. නොවැම්බර් සහ දෙසැම්බර් වන විට සාමාන්‍යයෙන් එම කාල සීමාවේ දී පැමිණෙන සංචාරකයින්ගෙන් 96% ක් වත් මෙවර පැමිණෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. එම සංඛ්‍යාව ක්‍රමානුකඣලව වැඩිවෙමින් පවතිනවා.

හෝටල් කාමර ගාස්තු අඩුකිරීම ඇතුළු තීරණ රැසක් ගැනීමට අපට සිදුවුණා. කෙසේ හෝ පළමුවෙන් සංචාරකයින් පැමිණීම ඉහළ නංවාගැනීමට අප කටයුතු කළ යුතුයි. සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යන නිසා දැනට වඩා දියුණුවක් ලබන වසර තුළ අපට දැකගැනීමට හැකි වන බව සඳහන් කරන්න කැමැතියි. සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ ඔවුන් මුදල් වියදම් කිරීමෙන් මුදල් සංසරණය වැඩි වී ව්‍යාපාර දියුණු කර ගැනීමට ශක්තිය ඇති වෙනවා.

ප්‍රශ්න රැසක් තිබුණත්, ඇතැමුන් දේශපාලන වාසි ගැනීමට තැත් කළත් රට කඩාවැටීමට අපි ඉඩ තැබුවේ නැහැ. රට කෙසේ හෝ ගොඩගැනීමට අපි තීරණය කළා. මාස දෙකක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව අප්‍රේල් මාසයේදීම අපි අධිෂ්ඨාන කළා. එහි ප්‍රතිඵල ක්‍රමානුකූලව මේ වනවිට ලැබෙමින් තිබෙනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ඉදිරියට පැමිණිය හැකි ආකාරයට මේ ආණ්ඩුව ක්‍රියාකරන බව සඳහන් කරන්න කැමැතියි. මේ වගේ සීඝ්‍රයෙන් ක්‍රියා කරපු ආණ්ඩුවක් අපට සොයා ගන්නවත් තිබේවි යැයි මම හිතන්නේ නැහැ.

නමුත් මේ පියවර තුළින් පමණක් අපට සෑහීමකට පත් වන්න බැහැ. මෙම කණ්ඩායම අවසන් වුවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය කියන්නේ අපි දැක්ක දරුණු ත්‍රස්තවාදයක් බව කිව යුතුයි. මෙය කොටි ත්‍රස්තවාදයට වඩා වෙනස් බව අපි දන්නවා. තව කිහිප දෙනෙකුට මෙම අදහස ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට අපට ඉඩදෙන්නට බැහැ. අන්තවාදය තුළින් ත්‍රස්තවාදය ඇති වෙනවා. අපි විශේෂයෙන්ම සංහිදියාව ඇති කර ඕනෑම ජාතියක, ආගමක අන්තවාදයට ඉඩනොතබා ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගත යුතුයි. ලෝකයේ අනෙක් රටවල්වල මෙන් තිබෙන ක්‍රමවේදයන් තුළින් අන්තවාදය නැති කිරීමට කටයුතු කළ යුතුයි.

මෙම ප්‍රහාරය නැවැත්වීමට පියවර නොගත්තා යැයි ආණ්ඩුවට ඇතැමුන් දෝෂාරෝපණ එල්ල කළා. මේ පිළිබඳව තොරතුරු ලැබී තිබිය දී ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්න මතුවී තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවකුත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත් කර තිබෙනවා. ඒ තේරීම් කාරක සභාව මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ වැඩකටයුතු කරනවා.

මෙම තේරීම් කාරක සභාව මගින් කරුණු සොයා බැලිය හැකි වනවා. ඒ වගේම ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා. එවැනි කොමිසමක් පත් කිරීම අවශ්‍ය බව මම පිළිගන්නවා. ජනාධිපති කමිටු වාර්තාව හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා පිළිබඳවත් අවධානය යොමු කර තවත් මාස 6-7 ක් කරුණු සොයා බලා සත්‍ය සොයාගෙන අනාගතයේ දී කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව සොයා ගැනීමට ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කිරීම සුදුසු බව මම පිළිගන්නවා. ඒ අනුව මම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම සමග එකඟ වෙනවා.

මේ පාස්කු ඉරිදා ප්‍රහාරය අපි පාලනය කර තිබෙනවා. ආර්ථික හානියට අපි මුහුණ දී තිබෙනවා. සිදුවූ ජීවිත හානි පිළිබඳව අපේ කනගාටුව පළ කරනවා. එම ජීවිත අපට නැවත ලබාදීමට නොහැකි වුවත් මාස දෙකක් ගතවීමට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රතිඵල පාලනය කර රට සාමාන්‍ය තත්වයට පත් කිරීමට අපට හැකි වුණා. ඒ වෙනුවෙන් උපකාර කළ සියලූ දෙනාටම මගේ ස්තූතිය පළ කරනවා.

මෙම හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ ඇමැතිතුමාටත්, මේ දෙපාර්තමේන්තුවටත් මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ආයතනය හරහා ජනතාවට විශාල සේවාවක් ඉටුවේවායි මම ප්‍රාර්ථනා කරනවා. 

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අවෙර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි,  බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරු ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

t

o

p