නොවැම්බර් 01 දා සිට අතුරුදන් වූවන්ගේ සියලු පවුල් වෙත මාසිකව රුපියල් 6,000ක්

September 10, 2019

නොවැම්බර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම අතුරුදන් වූවන්ගේ පවුල් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති මේ මොහොතේ ජනතාවගේ සුබ සාධනය පිළිබඳව ද රජය දැඩි අවධානයක් යොමු කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත හමුවට ඊයේ (08) එක්වෙමිනි. උතුරේ මේ දිනවල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව මෙම උත්සවය යාපනයේ දී පැවැත්විණි.

 ‘‘2015 ජනවාරි මාසෙ අට වැනිද අපට ලැබුණෙ ණය කන්දක් එක්ක රටක්. ජනතාවගේ ලේවලින් තෙත් වුණ පොළොවක්. දූෂණය පිරුණු රාජ්‍යයක්. ගෙවුණු වසර හතර ඇතුළෙ අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කළා. සුදු වෑන් යුගය අවසන් කළා. කතා කරන්න, ලියන්න කියන්න නිදහස් පරිසරයක් අපි නිර්මාණය කළා. ඕනෑම මාධ්‍යකට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් පරිසරක් නිර්මාණය කළා. එහෙම කළ කවුරුත් ඝාතනය වුණේ නෑ. මෙන්න මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අපි ලබපු ජය.

යාපනයේ ඉන්නෙ අවුරුදු 30කට ආසන්න යුද්ධයකින් පීඩාවට පත් වුණ ජනතාවක්. ඒ නිසා අපි කළ යුත්තේ අතීත වැරැදි නිවැරැදි කර ගනිමින් යළිත් එවැන්නක් ඇති වීමට ඇති මංපෙත් අවුරාලන එකයි. සිංහල, දෙමළ හෝ මුස්ලිම් ත්‍රස්තවාදයකට, ජාතිවාදයකට හෝ ආගම්වාදයකට යළිත් මේ රටේ ඉඩක් නෑ. ඒකට හේතුව තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම් වූ සංවර්ධනයක් නිර්මාණය කිරීම.

ඉතිහාසයේ දැවැන්තම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ අද මුළු රටම වැඩබිමක් බවට පත් වෙලා. මුළු යාපනේම එකම වැඩබිමක්. හැම තැන ම පුංචි පාරවල්, පාලම්, බෝක්කු, කෝවිල්, පන්සල්, පාසල් ක්‍රීඩාපිටි සංවර්ධනය වෙනවා. උතුරේ කටයුතු වෙනුවෙන් ගම්පෙරළියෙන් මේ වෙන විට රුපියල් බිලියන 7ක් වෙන් කරල තියෙනවා. 2018 – 19 අයවැය දෙකෙන් විතරක් අපි උතුරේ සංවර්ධනයට රුපියල් බිලියන 20ක් වෙන් කරල අවසන්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යාපනයේ දී දැන් පැවැත්වෙනවා. යාපනේ ජනතාවට, විශේෂයෙන් ම ව්‍යවසායකයන් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න ජනතාවට මේක සුබ ආරංචියක්.

පලාලි ගුවන්තොටුපොළ නුදුරේදී ඉන්දියාවේ සිට ගුවන් ගමන් සඳහා විවෘත වෙනවා. ඒ කියන්නෙ සංචාරකයන් පැමිණෙන්න පටන් ගන්නවා. යාපනය කියන්නෙ ශ්‍රී ලංකාවේ තියෙන සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ගන්න තැනක්. ඉතින් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම මගින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය ගන්න පුළුවන්. අලුත් හෝටල් කාමර අවශ්‍ය වෙනවා. ඒ වගේම හෝම් ස්ටේ ක්‍රමය ජනප්‍රිය වෙලා තියෙනවා. ඔබට පුළුවන් තමන්ගෙ ගෙදර කාමරක් වෙනම සංචාරකයන් සඳහා වෙන් කර ගන්න.

එන්ටර්ප්‍රයිස් ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව ළගා කරමින් පහසුවෙන් ඇපකරුවන් නොමැතිව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව රුපියල් ලක්ෂ 15 දක්වා ස්වං රැකියා හෝ සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ණය ලබා ගන්නා අයට මින් මතුවට බැංකු වෙත සුරැකුම් හෝ ඇපකරුවන් ඉදිරිපත් නොකර ණය ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.

“යාපනයේ බහුතරයක් කාන්තාවන් ප්‍රමුඛ පවුල් තියෙන්නෙ. ඒ වගේ ම පුනරුත්ථාපනය කරන ලද සටන්කාමීන් සිටිනවා. මේ අය මෙන්ම දකුණේ ද මෙසේ ණය අපේක්ෂිත අයට ණය ලබා ගැනීමේ දී අපකරුවන් සොයා ගැනීමේ දුෂ්කරතාවට පත් වෙනවා. ඒ නිසා මෙසේ සුරැකුම් හෝ ඇපකරුවන් නොමැති ඇප ලබා ගැනීමට හැකිවීම ඔවුන්ට ලැබෙන මහත් වරප්‍රසාදයකි.“ මංගල සමරවීර අමාත්‍යවරයා පැවැසීය.

‘‘අපි මේ සියල්ල කරන අතරතුර ජනතාවගේ සුබ සාධනය අපි අමතක කරල නෑ. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නයට අපි සංවේදී වෙලා ඉන්නවා. විශේෂයෙන් ම මේ වසරේ නොවැම්බර් මාසෙ ඉඳල අපි අතුරුදන් වූවකු සහිත සෑම පවුලකට ම රුපියල් 6,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. උතුරේ පමණක් නොව දකුණේ අතුරුදන් වූ පොලිසියේ සහ හමුදා නිලධාරීන්ගේ පවුල්වල අයට ද මෙම ගෙවීම ලබා දෙනවා ‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවේ දී උතුරු පළාතේ හොඳම අලෙවි නියෝජිතයන්ට අමාත්‍යවරයා අතින් තිළිණ හිමි වූ අතර වෙළෙඳ නියෝජිතයන්ට වෙළෙඳ කුටි ලබා දීමට ද සිදු විය.

t

o

p