ඉන්ටර්පෝල් දූත පිරිස අගමැති හමුවෙයි

August 28, 2019

ගෝලීය ත්‍රස්තවාදය මැඩ පවත්වමින්, ගෝලීය ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා ජාත්‍යන්තරය එකට එක්වී පොදු වැඩ පිළිවෙලක් දියත් කරලීමේ අවශ්‍යතාවය මනාව වටහා ගෙන ඇති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තමන් වෙත නිබඳ ලබා දුන් සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක වැඩ පිළිවෙල වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් යාගෙන් ස්ටොක් (Jürgen Stock) මහතා පැවසීය.

ඉන්ටර්පෝල් දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දී ස්ටොක් මහතා තවදුරටත් පැවසූයේ ඉන්ටර්පෝල් ආයතනය පොලිස් සංවිධානයක් වුවත්, යම් යම් අවස්ථාවන්හි දී එහි කාර්යභාරය කාර්යක්‍ෂම කරලීම සඳහා දේශපාලන සහයෝගය ද අවශ්‍ය වන බව ය.

ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ පිපිරී ගිය අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා ලබා දුන් දේශපාලන සහයෝගය හා මග පෙන්වීමත්, ශ්‍රී ලංකා පොලීසිය හා ආරක්‍ෂක අංශ දැක්වූ කැපවීමත් නිසා ඉතා කෙටි කාලයක් තුළ සියළු සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව ද ස්ටොක් මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ගෝලීය වශයෙන් අනාගතයේ එල්ල විය හැකි ආරක්‍ෂක අභියෝග ජය ගැනීමට නම්, මුළු මහත් ජාත්‍යන්තරයම එකට එක්වී කටයුතු කළ යුතු බවය. ආරක්‍ෂක හා බුද්ධි තොරතුරු හුවමාරුව මෙහිදී අතිශය වැදගත් වන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තොරතුරු හුවමාරුව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමේ අවකාශය හා අවශ්‍යතාවය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී කරුණු හුවමාරු කර ගැනිණි. ජලය, බලශක්තිය ආදී ප්‍රභවයන් වෙත මෙන්ම, මුල්‍ය හා ආර්ථික අංශයන්ට ද එල්ල විය හැකි ත්‍රස්තවාදී අභියෝගයන් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්ටර්පෝල් ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ කරෙල් පෙලාන්, ශිරානි ඩී. ෆොන්ට්ගැලන්ඩ්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එෆ්. ලතීෆ් ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

t

o

p