අපිට හොර ඩීල් නැහැ. පක්ෂයක් වශයෙන් අපි ඉතාමත් සෘජුව කටයුතු කරනවා

August 27, 2019

“එක්සත් ජාතික පක්ෂයේ යම් යම් පුද්ගලයින් හිතුමතේ පක්ෂයේ විනය ගැන පවා නොසිතා කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවංකවම දුක්වෙනවා. නමුත් ඔවුන් නිකරුණේ කියවන දේවල් වෙනුවෙන් අපි කෑගහන එකේ තේරුමක් නැහැ.  වසර 71ක ඉතිහාසයක් තියෙන ප්‍රභල පක්ෂයක්. අපට විනයක් තියෙනවා. සම්ප්‍රදායක් තිබෙනවා.

යම් අයට හදිසි වුණා කියලා නිකරුණේ කලබල වෙලා අනිසි ලෙස කටයුතු කරන පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. එක්සත් ජාතික පක්ෂ රජයක් තුළින් මේ වනවිට රටේ සංවර්ධනය සෑම කොනක සිටම ආරම්භ වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කරමින් කටයුතු කල යුතුයි. එ.ජා.ප. ය තුලින් නියමිත වේලාවට නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරනවා. අනෙක් පක්ෂ වලින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්, අපිට කිසිසේත්ම අභියෝගයක් නොවෙයි “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, කිඹුලාඇල  ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

” ජනාධිපතිතුමා පසුගිය දවසක පොදුජන පෙරමුණ සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බවත්, එය ඉදිරි මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට යම් බලපෑමක් ඇතිකල හැකි තත්ත්වයක් වියහැකි බවත් යම් පිරිස් අතර මේ දිනවල කතාබහක් පවතිනවා. නමුත් ජනාධිපතිතුමාට, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මෙන්ම වෙනත් ඕනැම පුද්ගලයෙක් සමග සාකච්ඡා පැවැත්විය හැකියි. ඒ තුළ කිසිදු ගැටළුවක් හෝ වෙනත් කිසියම් පාර්ශවයකට අනිසි බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට, ජනතාවට වැඩක් කරපු පක්ෂයක්. ඉදිරියටත් වැඩ කරන පක්ෂයක්. අපිට හොර ඩීල් නැහැ. පක්ෂයක් වශයෙන් අපි ඉතාමත් සෘජුව කටයුතු කරනවා. පසුගිය දිනයක අගමැතිතුමා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. වසර 04 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂ රජයක් තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමයි ඒ සංග්‍රහය පැවැත්වුවේ.  ජනාධිපති මැතිවරණයට ප්‍රථම පළාත්සභා මැතිවරණයක් පැවැත්වෙන බවට මේ දිනවල ප්‍රචාරයක් යනවා. නමුත් ඒක බොරුවක්. ඒ ආකාරයෙන් පළාත්සභා මැතිවරණයක් පවත්වන්නට අපහසුයි. ඒ සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවක් පවතිනවා.

පක්ෂයක් වශයෙන් අපිටත් තවම සියලු සංවර්ධන කාර්යයන් නිමා කරන්න නොහැකි වෙලා තිබෙනවා. නමුත් එ.ජා.ප. පාලනයක් තුළින් රටක් ජාතියක් වශයෙන් අද අපිට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ හැකියාව ලැබිලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙනවා. මාධ්‍ය නිදහස ලැබිලා තිබෙනවා.  ඒ අනුව ඉදිරියටත් සහජීවනයක් ඇතිකළ හැකි යහ පාලනයක් සිදු කරන්න අපේක්ෂා කරනවා “යැයි පැවසීය. 

t

o

p