ශ්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය සහිත ෆැන්ටසි අයිලන්ඩ් විනෝද උද්‍යානයට මුල්ගල තබයි.

August 26, 2019

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයට මුල්ගල තැබීම  මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස මෙම විනෝදාත්මක උද්‍යානය ඉදිකෙරෙන අතර මෙහි ශ‍්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය නිර්මාණය වේ.

තවද හිම උද්‍යාන, ජල ක‍්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රාශියකින් සමන්විතව අන්තර්ජාතික විනෝද උද්‍යානයක් ලෙස ඉදිකෙරෙනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මෙසේ කියා සිටියේය.

“අද මේ වෝටර්ස් එජ් කලාපයේ, දියවන්නා ගඟෙන් දකුණු ඉවුරේ, මේ ප්‍රදේශයේ, අපි කාලයක සිට සැලසුම් කර තිබෙනවා, විනෝදාස්වාද නගරයක් ගොඩනගන්න. මේකෙන් වම් ඉවුරේ, අනාගත පරිපාලන නගරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගාගෙන යනවා. එහි ගොඩනැගිලි කටයුතු තව වසර තුනකින් අවසන් වුණාම, කොළඹ නගරයේ දැනට තියෙන ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක් එහි එනවා. ඒ වගේම තව අවුරුදු 4කින් මේ කලාපය හරහා සැහැල්ලු දුම්රිය සේවය ගමන් අරඹනවා.

දැනටමත් ඒ සඳහා බිම් මට්ටමේ කෙරෙන පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එතකොට මේ කලාපය ඉතාමත්ම කලබලකාරී ප්‍රදේශයක් බවට පත්වෙනවා. එතකොට ඒ අයගේත්, පොදුවේ ශ්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ මේ කළම්බු අයි නමින් අපි හඳුන්වන ඒ විශාල ෆෙරිස් වීල් එක පැමිණෙනවා විතරක් නෙමෙයි, දැනටමත් අපි ක්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කරලා තියෙනවා.“

“අපි හැමෝම දන්නවා සංචාරක ව්‍යාපාරය අද අපිට විදේශ ආයෝජන ගෙන්වන ප්‍රධාන මාර්ගයක්. ඉදිරි කාලයේ දී අපි බලාපොරොත්තු වෙනවා, ඉඩම් සංවර්ධණ සංස්ථාවෙන් මේ කලාපය එකතු කරන්න, කොළඹ නගරය සමඟ ජල මාර්ග ඔස්සේ. අපි නියමු ව්‍යාපෘතිය දියත් කළා. එතකොට තවත් දියුණුවත් එතනින් අපිට ලැබෙයි.

ඒ වගේම ඒ සංචාරකයින්ගෙන් අපිට ලැබෙන ආදායම මිලියන 4,000 ඉක්මවා ලැබුණාට, ඒකෙන් අඩක් පමණ අපේ රටේ අයත් පිටරට ගෙනියනවා අධ්‍යාපනයට, ඒ වගේම සංචාරය කිරීම සඳහා විදේශ රටවල්වලට, සිංගප්පූරුවට සංතෝෂා දිවයිනට, එහෙම නැත්නම් ඩුබායි රටට, විශාල වශයෙන් අපේ සංචාරකයනුත් ඇදී යනවා.

2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගත් ධනය ඩොලර් මිලියන 4,300 යි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරටට අරන් ගිය ධනය ඩොලර් මිලියන 1,600 යි. එතකොට අපිට පේනවා, අපේ ඒ ධනය මෙහි ඉතිරි කර ගන්න නම්, ඒ ජනතාවට විනෝදාස්වාදය සැපයෙන ක්‍රියාදාමයක් ඇති කර ගත යුතුයි, විදේශවලින් ඇදී එන සංචාරකයින්ට අමතරව.

මම හිතනවා ඒ ප්‍රතිඵල දෙකම විදේශ සංචාරකයිනුත්, දේශීය පිරිසටත්, මේ රට තුළම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමඟින් අවස්ථාව ලැබෙයි.

t

o

p