අකුණු අනතුරු කළමනාකරණයටත් මිත්‍යා මතවලින් බාධා

August 8, 2019

පාරිසරික සංසිද්ධි බොහෝමයක් මිත්‍යා විශ්වාස  සහ සංකල්ප පසුබිම් කොටගෙන ඉතිහාස කතාවලට එකතු වී තිබෙන බව අද අපි දනිමු. පාසැලේදී සහ උසස් අධ්‍යාපන ආයතන වලදී විද්‍යානුකූලව පරිසරය පිළිබඳ කරුණු අවබෝධ කරගන්නා නමුදු සමාජයේ විවිධ මූලාශ්‍ර තුළින් අපවෙත ළඟාවෙන මිත්‍යා අදහස් නිසා විද්‍යාවබෝධයට විවිධ බාධා පැමිණෙන බවට උදාහරණ අපමණය.

ශ්‍රී ලංකාවේ අකුණු ආපදා ඇතිවන ප්‍රධාන වකවානුව මාර්තු – අප්‍රේල් ප්‍රථම අන්තර්මෝසම් ඍතුවයි. ඊළඟට අකුණු බහුලවන  සමය ඔක්තොම්බර් –  නොවැම්බර් කාලය  ළඟ ළඟම එන නිසා අකුණු ආපදා කළමනාකරණය පිළිබඳව කතාබහ කිරීමට මේ  හොඳම කාලයයි. අකුණු උවදුරු අවම කිරීම  උදෙසා පියවර කිහිපයක් පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

අකුණු පහරක් (lightning flash) යනු මිලි තත්පර දහයක් වැනි කෙටි කාලයක් තුළ වළාකුලක සිට පහත්වන ඇම්පියර් ලක්ෂ දෙකක් (200000A)  පමණ වන විදුලි ධාරවක් වන බවට ඔබ බොහෝ දෙනෙක් දැනුවත් වී ඇත. ධාරාවේ විශාලත්වය වළාකුලක අඩංගු ආරෝපණ ප්‍රමාණය අනුව වෙනස්වන බැවින් ශ්‍රී ලංකාවේදී කරන ලද පර්යේෂණ වලදී පවා ඇම්පියර් දෙ‍දාහේ සිට ඇම්පියර් ලක්ෂ දෙක පමණ දක්වා වෙනස්වන අකුණු ධාරාවල නිරීක්ෂණ ලැබී ඇත. මේ නිසාම අකුණු පහරක් සතු විදුලි ධාරාවේ සාමාන්‍ය අගය ඇම්පියර්  විසිපන් දහසක් (25000A) ලෙස සලකනු ලැබේ.

අකුණු වලින් සිදුවන දේපළ සහ ජීවිත හානි අඩුකරලීම සඳහා ගතහැකි එක් පූර්වෝපායක් ලෙස අකුණු ලෝකයට වටහා දුන් පියාවන ‍බෙන්ජමින් ෆ්රෑහන්ක්ලින් විසින් යෝජනා කරන ලද දෙයක් නම් නිවාස ආසන්නයේ උස් වූ ලෝහ කණුවක් සිටුවීමය. එදා එලෙස ඉදිරිපත් වූ යෝජනාව වෙනත් විද්‍යාඥයන්ගේ අවධානයට යොමු වී ඒ හා සම්බන්ධ කරන ලද පර්යේෂණ රැසක් හරහා ලොවට හඳුන්වා දෙන ලද අකුණු ආපදා අඩු කිරීමේ උපකරණය අකුණු සන්නායකයයි. (lightning conductor) නිවාස ඇතුළු  ඕනෑම  ගොඩනැගිල්ලක් මෙන්ම වටිනාකමින් ඉහළ වූ ඉදිකිරීමක් ඍජු අකුණු පහරින් ආරක්ෂා කිරීම උදෙසා අකුණු සන්නායක සවිකළ යුතුමය. එවන් උපදෙස් පිළිබඳව සැලකිලිමත් නවීන ලෝකයේ සන්නිවේදන තරංග සම්ප්‍රේෂණය සඳහා අත්‍යාවශ්‍ය වන සන්නිවේදන කුළුණු (Communication tower) සහ ඒ හා සම්බන්ධ වටිනා උපකරණ ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිතියට අනුව අකුණු සන්නායක සවිවීම නිසා සෑම සන්නිවේදන කුළුණු මත අකුණු සන්නායකයේ වා අග්‍රය ඈතට දිස්වේ.

අකුණු සන්නායක පිළිබඳව භෞතික විද්‍යාඥ විග්‍රහයන් වල සන්නායක කුළුණු හා සම්බන්ධ අකුණු සන්නායක වලින් සැපයෙන ආරක්ෂිත ප්‍රදේශය පැහැදිලිව පෙන්වා දී ඇත. උස H වන අකුණු සන්නාකයක් මඟික් අකුණු ආපදා ආරක්ෂාව ලැබෙන ප්‍රදේශය වනුයේ සන්නායකයේ පාමුල කේන්ද්‍රය කොටගෙන අර්ධ විශ්කම්භය H ට සමාන වන පරිදි සටහන් කරන ලද වෘතාකාර පෙදෙසයි. එම වෘතාකාර පෙදෙසට ලඟාවීමට පහන්වන අකුණු පහර අකුණු සන්නායකය  මඟින් ආකර්ෂණය කොටගෙන ආරක්ෂාකාරීව භූගත කෙරෙන නිසා එම ප්‍රදේශ කොටස ආරක්ෂිත කලාපය සේ සැලකේ.

ඉහත සඳහන් විද්‍යාත්මක යථාර්ථය වරදවා වටහා ගැනීම නිසා බොහෝ දෙනෙක් සන්නිවේදන කුළුණු ඉදිකිරිමට පවා එරෙහිවන අවස්ථා පිළිබඳව අසන්නට ලැබේ. අකුණු සන්නායකයක් සවිකර ඇති සන්නිවේදන කුළුණක් ආශ්‍රීත ප්‍රදේශවල ජීවත්වන ජනතාව කාලයක් සමඟ කරන නිරීත්ෂණයන් වරදවා වටහා ගැනීම මෙම විරෝධතාවලට හේතුවයි. කලක් යනවිට කුළුණ අවට ආරක්ෂිත කලාපයට අකුණු පහර නොවැදුනත් අවට ගහකොළට සහ ආරක්ෂිත කලාපයෙන් පිටත පිහිටි නිවාසවලට අකුණු පහර මඟින් විවිධ ආපදා ඇතිවන්නේ අකුණු සන්නායකය සහිත කුළුණක් තිබෙන නිසා නොව, අකුණු සන්නායකයෙන් ආරක්ෂාව ලැබෙන සීමාවෙන් බාහිරව පිහිටි කොටස්වලට ස්වභාවයෙන්ම ලඟාවන අකුණු පහරවල්වල බලපෑමට නතුවන නිසාය. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම අපහසු ජනයා සිතන්නේ, අකුණු සන්නායකය ඇදගන්නා අකුණු පහරවල් වටා පිටාවට  වීසි කරනවාය. (පරාවර්තනය)  කියායි.

අකුණු සන්නායක මඟින් අකුණු පහරවල් වීසි කරනවාය යන මිත්‍යාමතය ප්‍රචාරය කරන ඇය අකුණු ආපදා කළමනාකරණ පියවර ගැනීමේදී විශාල බාධාවක් වී ඇත. ප්‍රමිතීන්ට අනුව භූගත ප්‍රතිරෝධය ඕම් දහයට අඩු අගයක පවතින පරිදි අකුණු සන්නායක සවිකළ යුතුය. එවන් අකුණු සන්නායකයක සේවය වනුයේ ආරක්ෂිත කලාපය වෙත එල්ලවන අකුණු ධාරා ආරක්ෂා සහතිව ආකර්ෂණය කොට භූගත කිරීම මිස අකුණු විසි කිරීම හෝ පරාවර්තනය නොවේ.

අකුණු සන්නායකයක ක්‍රියාවල තමා වෙතට අකුණු ආකර්ෂණය කර ගැනීම මිස, ලැබෙන අකුණු පහර පරාවර්තනය කිරීම  නොවේය යන යථාර්ථය අපහැම විසින් අවබෝධ  කරගත යුතුය. ඒ අනුව ආරක්ෂාව සැපයෙන සීමාවෙන් බාහිරව තිබෙන ගොඩනැගිලිවල ජීවත්වන සැවොම  අකුණු ආපදා අවම කිරීම සඳහා ගතයුතු ආරක්ෂක පියවර සියල්ල නිසි පරිදි ගත යුතුය.

අකුණු සන්නායක මඟින් අකුණු පහරවල් විසි කිරීමක් සිදුවේනම් කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල සහ වැල්ලවත්ත වැනි නාගරික ප්‍රදේශවල පමණක් නොව අකුණු සන්නායක සහිත ගොඩනැඟිලි හෝ කුළුණු සහිත ඕනෑම ස්ථානයක  ජනතාව අකුණු ආපදාවලට බහුල ලෙස බඳුන්විය යුතු නොවන්නේද යන්න පිළිබඳව විමර්ශණය කිරීමට තරම්වත් අප නැනවත් විය යුතු නොවේද? ඉතා උස සන්නිවේදන කුළුණු (අකුණු සන්නායක සහිත)  සවිකරගෙන සන්නි‍වේදන කරන ගුවන්විදුලි සංස්ථාව සහ රූපවාහිනි  සංස්ථා භූමි අවට ජනතාව මේ වන විට මුහුන පා ඇති අකුණු ආපදා මොනවාදැයි විමසා බැලිය යුතුව ඇත. ගොඩනැගිලි වලින්ම පිරී ඇති සිංගප්පූරුවේ උස් ගොඩනැගිලි සියල්ලම අකුණු සන්නායක මඟින් ආරක්ෂා කොට ඇත. එම අකුණු සන්නායක මඟින් අකුණු ධාරා විසි කිරීම හෝ පරාවර්තනය කරන්නේනම් ගිගුරුම් සහිත වර්ෂාව පවතින විට සිංගප්පූරුවේ මාවත් මළ කඳන් වලින් පිරීයනු ඇතිනේද? සුගතදාස පිට්ටනියේ උස්වූ ආලෝක කුළුණු අකුණු සහිත කාලගුණය පවතින විට මිනීමරුවන් වී ඇද්දැයිද විමර්ශණය කළ යුතුය.

බයිබලයේ සඳහන් වන එලුවගේ කරේ පව් පැටවීම පිළිබඳව ඔබලා දැනුවත් ඇත. එනම් ආදි යුදෙව් ජාතිකයින් ඔවුනගේ සියලු පව්, යාතිකා මඟින්, එලුවකුගේ ඇ‍ඟේ පටවා පිපාස‍යෙන් සහ බඩගින්නෙන් සතා මියයාම සඳහා කාන්තාරයට එළවා දමා ඇත්තේ සිය පව් වලින් මිදීමට  වුවත් යථාර්ථය වනුයේ මිත්‍යා සංකල්පයක එල්ලී‍ගෙන සිය සිත් තැවුල් නිවා ගැනීමයි. තම නිවාස වල අකුණු ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම පිළිබඳව පියවර නොගෙන අකුණු අනතුරු වලට හේතුව අහල පහළ ඉදිකොට ඇති සන්නිවේදන කුළුනක් පිට පැටවීමත් යුදෙව්වන් එලු‍වගේ පිටේ පව් පැටවීම වැනිය. අකුණු විසි කරනවාය වැනි මිත්‍යා  විශ්වාස වලින් බැහැර වී තම තමන්ගේ නිවාස කරා අකුණු ආපදා සිදුවන මාර්ග පිළිබඳ දැනුවත් වී ඒවා අවම කිරීමේ පියවර ගැනීම අත්‍යාවශ්‍ය බව වටහා ගනිමු.

ගිගුරුම් සහිත වැසි  ඇදහහැලෙන අවස්ථාවල දුරකතන භාවිතය අනතුරු  දායකය යන ප්‍රකාශණයද වැරදි ලෙස වටහා ගැනීමත් බොහෝ දෙනෙකුගේ දුර්වල කමක් බව පෙනී යයි. අකුණු ආපදා පිළිබඳ පර්යේෂණ රැසක් පැවැත්වූ මීට දශක තුන හතරකට පෙර සමයේ  ලොව දියුණු රටවල පවා භාවිතයේ තිබුනේ රැහැන් දුරකතන (Cable  telephone) පමණි.  මාවත් ඔස්සේ ඉදිවුන සන්නායක කම්බි ඔස්සේ සන්නිවේදන තරංග ප්‍රචාරණය වී ගොඩනැගිලි තුළ භාවිත වූ දුරකතන වෙත ළඟා වුවා සේම අකුණු සහිත වාතාවරණවලදී දුරකතන රැහැන් කරා ළඟාවන අකුණු ධාරා එම රැහැන් ඔස්සේම සන්නායනය වී දුරකතන වෙතට ළඟාවීම එය භාවිතා කන්නන් හට ආපදා (සමහරවිට මරණීය ආපදා) ගෙන එන නිසා  එවන් වාතාවරණවලදී දුරකතනය පරිහරණය අනතුරුදායක බවට ජනතාව දැනුවත් කර ඇත.

එහෙත් අද දවසේ ඉතා බහුල ලෙස භාවිතය වන ජංගම දුරකතන (රැහැන් හා සම්බන්ධ නොවන) අකුණු සම්බන්ධ‍යෙන් අනතුරුදායක බව අඩුම සන්නිවේදන මෙවලම් බව අවධාරණය කරමි. ඉතාම ආසන්නයේ අකුණු ක්‍රියාත්මක නොවන අවස්ථාවල ජංගම දුරකතනය භාවිතය රැහැන් දුරකතනයක් භාවිතා කරනවා සේ අවදානම් නොවේ. ජංගම දුරකතන වල තරංග සංඛ්‍යාත අකුණු ධාරා හා සම්බන්ධ විකිරණවල තරංග සංඛ්‍යාත වලට වඩා වෙනස් වේග තත්ත්වය  එසේ වුවදල ඉතාම ආසන්නයේ ප්‍රබල අකුණු ඇතිවන වාතාවරණ වල මෙන්ම ජංගම දුරකතන නිවෙස් විදුලි බල සැපයුමට සම්බන්ධ කොට ආරෝපණය (CHARGE) කරන අවස්ථාවල දුරින් හෝ ගිගුරුම් හඩ ඇසේනම් ජංගම දුරකතනය භාවිතය තරමක් අනතුරු දායක බව අවබෝධ කර ගනිමු.

විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ,පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්ය, කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ

t

o

p