ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය

August 1, 2019

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සදහා වූ ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන්  සම්මත විය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම මේ මස 05 දා ස්ථිර වශයෙන්ම කිරීමට එක්සත් ජාතික පක්ෂ අනුමැතිය හිමිවින.

ඉහත තීරණය ගනු ලැබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේදී පැවැත්වින.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල මුළු සාමාජික සංඛ්‍යාව 77 ක්ව පවතින අතර අද රැස්වීමට සහභාගී වූ සංඛ්‍යාව 47 කි. මින් 35 ක සංඛ්‍යාවක් සන්ධානය පිහිටුවීමට අදාළ ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, රවි සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජිව සේරසිංහ, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, දිලිප් වෙදආරච්චි සහ නලීන් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් නව සන්ධානයට විරුද්ධව දැඩි ස්ථාවරයක සිට අදහස් ප්‍රකාශ කළ බව කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙකු ලංකාදීපයට පැවසීය.මෙහිදි දැඩිව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාට අවවාද කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ ඇමතිවරයෙකු ලෙස හැසිරීමට පුරුදු වන ලෙසය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණු ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් දැක්වූ පිරිස කියා සිටියේ සන්ධානය පිහිටුවීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේ නව සන්ධානයේ මහලේකම්ධූරය තමන්ට හිමිවන්නේ නම් සන්ධානය පිහිටුවීමට විරුද්ධ නොවන බවය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට ඉදිරිපත් කළයුතු සංශෝධන හැකි ඉක්මණින් දෙන ලෙස කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සන්ධානයට විරුද්ධව අදහස් දැක්වූ පාර්ශවයට පිළිතුරු දෙනු ලැබීය. එම සංශෝධන පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා වෙත ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය ජෝන් අමරතුංග හා ජාතික යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන යන මහත්වරුන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය පිහිටුවීමේ අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්වා දන්හ.  ඒ වෙනුවෙන් දීර්ඝ කරුණු විමසිම් අවශ්‍ය නැතැයි කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඡන්ද විමසීම පැවැත්වීය.

එක්සත් ජාතික පෙරමුණේ දැනට සිටින පක්ෂ නායකයින් හා ඊට සම්බන්ධ වීමට සිටින පක්ෂ නායකයින් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ අකාරය ගැන අග්‍රාමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු විස්තර කළේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි වැඩි ඡන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ්‍ර ව්‍යවස්ථාව සම්මත වීමත් සමග නව සන්ධානය ඉක්මණින් පිහිටුවන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පිළිබද අදහස් දැක්වු අජිත් පී පෙරේරා එක්සත් ජාතික පක්ෂය ඇතිකර ගැනීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතට හා එය ලබන 05 දා අත්සන් කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී විරෝධය පළ වූ බව ප්‍රකාශ කළේය.

t

o

p