ආනයනය කරන සියලු මත්පැන් වර්ග නව ස්ටිකරය නොමැතිව විකිණිම තහනම්

July 31, 2019

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ.

මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ පරිදි සුරාබදු නිවේදන අංක 4/2019  ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව, ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය දැනට (ජූලි 20 සිට) ක්‍රියාත්මක කර ඇති අතර, දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කළ යුතුයැයි යන නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙරටට විදේශීය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 23ක් ඇත. ඔවුන් තම ආයතනය විසින් ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අලෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමකින් තොරව මින් මතුවට වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් ය.

මෙරට ගුවන් තොටුපලෙහි ක්‍රියාත්මක බදු රහිත සාප්පු සංකීර්ණ වලට විදේශ මත්පැන් ආනයනය කරනු ලබන ආයතන දෙකක් ඇති අතර ඔවුන් විසින් ආනයනය කරන ලද මත්පැන් මත සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ අදාළ මත්පැන් තොගය රේගු බන්ධිත ගුදමෙන් බදු රහිත සාප්පු සංකීරණ වලට මුදා හැරීමට පෙරාතුව ස්ටිකර් ඇලවීම සිදු කෙරේ.

ආනයනය කරනු ලබන විදේශ මත්පැන් පොදුවේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලේ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අලෙවි කරනු ලැබේ. ඒ අනුව, මින් මතුවට එම සාප්පු සංකීර්ණ වල සුරාබද්දට යටත් වන මත්පැන් කිසිවක් ස්ටිකර් ඇලවීමකින් තොරව සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් කෙරේ.

මෙම නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීමද වැළැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර 23 ක් ඇති අතර, ස්ප්‍රීතු ස්කාගාර 14 ක් තිබේ. එමෙන්ම, විවිධ මාදිලියේ මත්පැන් බලපත්‍ර ලාභී අලෙවිසැල් 4000 කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා විසිරී ඇත. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත්

වැඩිකර ගැනීමට හැකිවන අතර සෞබ්‍ය ආරක්ෂිතව අනුමත ක්‍රමවේදයන් යටතේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමිතියෙන් යුත් මත්පැන් පාරිභෝගික ජනතාවට ලබාදීම මෙමගින් තහවුරු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මත්පැන් මත අලවන ස්ටිකරයේ සත්‍යතාවය පාරිභෝගික ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ජංගම දුරකථන සඳහා වන යෙදවුමක් (APP) එකක් ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට නියමිතය. මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කරනු ලැබ  ඇත. කලින් කල මෙම ස්ටිකර්වල ආකෘතිය හා ස්වභාවය සම්බන්ධයෙන් යම් සංශෝධනයන් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙම නව ක්‍රමවේදය ආනයනික මත්පැන් වලට මෙන්ම දේශීය මත්පැන් වලටද හඳුන්වා දීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය තවදුරටත් වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. 2016 වසරේ රු. බි. 120 ක්ව පැවැති සුරාබදු ආදායම 2019 වසරේදී රු.බි. 130 ක් වනු ඇතැයි ඉලක්ක කර තිබේ. මේ වන විට2019 දී ආදායම රු.බි. 66 ඉක්මවා ගොස් ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි.

t

o

p