එන්ගලන්තයෙන් ගෙනා සායනික අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අභියාචනාධිකරණය වලකයි

July 31, 2019

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළි කසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රට තුළට රැගෙන යාම ප්‍රවාහනය කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 20 වැනි දා තෙක් බලපැවැත්වෙන ලෙස නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ  රඳවා ඇති මෙම  කසල කන්ටේනර් ප්‍රවාහනය කළ හැක්කේ ඒවා නැවත ප්‍රති අපනයනය කිරීමක් සඳහා පමණි.

මේ අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කිරීමට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

මෙම පෙත්සම පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙසට  ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, හේලීස් free zone limited ආයතනය  සහ නීතිපතිවරයා නම් කර තිබේ. ඒ අනුව මෙම පෙත්සම සැප්තැම්බර් මස 20 වැනි දා නැවත විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය දිනක එක්සත් රාජධානියේ සිට මෙරටට අපද්‍රව්‍ය සහ කැළි කසල ආනයනය කිරීමට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නේය.

එක්සත් රාජධානියේ සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල අඩංගු බහාලුම් සිය ගණනක් මෙරට ගබඩා කර ඇති බවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ඉතා අයහපත් ලෙසට බලපෑම් සිදු විය හැකි බවත් පෙත්සම්කරු පවසයි.

මෙම කැළි කසල මෙරටට ආනයනය කිරීම නීති විරෝධී බවත් ඒවා ගෙන්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි. 

දැනට ආනයනය කොට තිබෙන රෝහල් අපද්‍රව්‍ය හා කැළි කසල වෙනත් ස්ථානවලට බැහැර කිරීමෙන් වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි.

t

o

p