පොලිසියෙන් අරෝවක් නැතිනම් නීතියට පිටුවා පැයට කිලෝ මීටර් සියය ඉක්මවා වුව වාහන ධාවනය කළ හැකි පුළුල් බවක් සහ සුමට මතුපිටක් සහිත සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගයේ ‘‘පියාසර කළ’’ අප රැගත් රථය දමන පොලිස් ස්ථානය අද්දර මඳකට නතර කෙරිණි. ඒ කාක් සූට් කිහිපයක ‘‘උණුසුම’’ අපේ පවුලටම යාන්තමින් දැනුණ බැවිනි.
නෙල්ලිකැලේට යන්නේ කොහොමද?’’
රිය පදවමින් සිටි මගේ ගමන් සගයා සහන්ට රථයෙන් මඳක් හිඳීමට ඉඩ හැර ඉන් බැස ගත් මම ඒ අද්දර බස් නැවතුමේ සිටි කාන්තාවන් දෙදෙනාගෙන් ඇසීමි.
‘‘නෙල්ලිකැලේ?’’
එවිට එසේ පවසාගත් ඔවුහු එකිනෙකාගේ මුහුණ බලන්නට වූහ.
‘‘අර මායාරංජන් මහත්තයා ලියපු දිගාමඬුල්ලේ ආශ්චර්ය පොතේ තියෙනවනේ’’
ඔවුන්ට පහසුවක් වනු පිණිස මම යළි කීවෙමි.
‘‘මායා රංජන්?’’ ඒ නම ඇසූ කාන්තාවක දෑස් හකුළුවා කල්පනා කරන්නට වූ අතර ‘‘එයා කොහේ කෙනෙක්ද? අනේ’’ යනුවෙන් අනෙක් කාන්තාව අසා සිටියාය.
මා සිදු කොට ඇත්තේ ‘‘ෆාමසියකට’’ දිය යුතු බෙහෙත් තුණ්ඩුවක් ‘‘හාර්ඩ්වෙයාර්’’ එකකට දීම වැනි මරිමෝඩකමක් බව මට ඒ සැණින් වැටහිණි. එබැවින් ‘‘බොහෝම ස්තූතියි’’ යනුවෙන් පමණක් ඔවුන්ට කී මම යළි රථය වෙත ආවෙමි.
මායා රංජන් යනු මගේ සාහිත්‍ය ලෝකයේ සුවිසල් වීරවරයෙකි. මා ඔහු හඳුනාගත්තේ හැටේ දශකයේ අගභාගයේ හයවන ශ්‍රේණියේ සිසුවකු වශයෙන් එවක සිංහල පෙළ පොතේ මුල්ම පාඩමෙනි. ‘‘නෙල්ලිකැලේ’’ යනුවෙන් නම් කොට තිබූ එම පාඩම මායාරංජන් විසින් ලියන ලද දිගාමඬුල්ලේ ආශ්චර්ය නම් විශිෂ්ට සාහිත්‍ය කෘතියේ එන පරිච්ඡේදයකින් සංස්කරණය කොට ගන්නා ලද්දකි. 1966දී පමණ අයි.එම්.ආර්.ඊ. ඊරියගොල්ල මැතිඳුන් අධ්‍යාපන ඇමැතිව සිටි අවධියේ හයවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතට එක් කරන ලද එය 1972 වසර පමණ තෙක් එහි රැඳී තිබිණි.
ලොව ප්‍රමුඛතම සාහිත්‍යාංගයක් වන පරිසර චාරිකා කෙරෙහි මා ඇතුළු එවක ලක්ෂ සංඛ්‍යාත ළපැටියන් හට ‘‘රන් කිරි කට ගෑමට’’ එම නෙල්ලිකැලේ පාඩම සමත් විය. මිනිසා සහ සොබාදහම යන විෂය අද මෙන් ඉවක් බවක් නොමැතිව තළු නොමැරුවද එය අපගේ හදවත් තුළ කාවැදීමට සමත් වූ එම පාඩම 1966-1972 කාලවකවානුව තුළ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලත් බොහෝ දෙනකුගේ මතකයේ අදටත් විරාජමාන වන බවට සැක නැත. අප රටේ ඇති සෙසු කැළ බොහෝමයක් අබිබවා නෙල්ලි කැලේ පෙරට ආවේ එලෙසිනි.
නෙල්ලිකැලේට නම් ඔතන එක්කල්ඔය වැව් බන්ට් එකේ දේවාල ළඟින් යන්නත් පුළුවන්. හැබැයි ඉතින් අතන ඉස්කෝලේ හන්දියෙන් වමට හැරිලා සම්බෝධි විහාර පැත්තෙන් තමයි ළඟ.’’
සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගය දිගේ නෙල්ලිකැලේ හොයා අපට අතරමග දී කළ විමසුමකදී ගැමියෙක් කීය. අප නෙල්ලිකැලේ දෙසට යන මංපෙත සොයා ගත්තේ ඔහුගේ පිහිටෙනි.
මායාරංජන් යනු එක්දහස් නවසිය හතළිහේ දශකයේ වත්මන් අම්පාර (එවක මඩකලපුව) දිස්ත්‍රික්කයේ දමන ප්‍රදේශයේ සේවයට පැමිණි ගුරුවරයෙකි. වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ මගලේගොඩ පදිංචිව සිටි ඔහුගේ සැබෑ නම මහානාම රාජපක්ෂය. එහෙත් දිඟාමඩුල්ලේ ආශ්චර්ය ඇතුළු කෘතීන් සම්පාදනයේ දී සිය සැබෑ නම මායා රංජන් නමින් පෙනී සිටීම නිසා ඔහුගේ සැබෑ වගතුග සෙවීමට පියසේන කහඳගමගේ වැනි පසුකාලීන සාහිත්‍යධරයන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. ඒ මායාරංජන් මෙලෙස හැර ගොස් වසර ගණනාවක් ගතව ඇති නිසාය.
මායාරංජන් පැරණි දිගාමඬුල්ලේ දිවිය ඇරඹූ පසු එවක පැවැති රජය මගින් ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය අරඹා ඉඟිනියාගල වෑකන්ද හරස් කොට සේනානායක සමුද්‍රය ඉදි කළ අතර එම පෙරළිය පිළිබඳව ද ඔහුගේ දිගාමඬුල්ලේ ආශ්චර්ය කෘතියේ සඳහන් වෙයි.
එමෙන්ම දමන, හදාගොඩ, මොරගහපල්ලම, පල්ලන්ඔය, කොස්සපොළ, කිවුලේගම, කොට්ටම, වඩිනාගල, හිඟුරාණ, එරගම ආදී එම ප්‍රදේශ පිළිබඳව සඳහන් කරන ඔහු දක්වන විස්තර අනුව එවක එම ගම්මානවල තත්ත්වය සිතා ගැනීමට බැරි තරම් නොදියුණුවය. එහි ගැමියන් පිළිබඳ අපගේ හදවත් තුළින් නොමඳ අනුකම්පාවක් මෝදු වූයේ එබැවිනි.
අලහේන, වරාලන්ද, මඩාන ආදී ගම්මානවල එක් ගමක් ගෙවල් හත අටකින් සහ ජනගහනය විස්සකින් තිහකින් යුතු බව පැවසූ මායාරංජන් මඩවලලන්ද නිවාස විස්සකින් සහ ජනගහනය හැට හැත්තෑවකින් යුතු තරමක විශාල ගමක් බව පවසයි. එමෙන්ම මඩවලලන්දෙන් සැතපුම් හයක් ඔබ්බෙහි පිහිටි අම්බලම්ඔය සමීපයේ ඇති කොට්ටම නම් ගම නිවාස විස්සකින් සහ ජනගහනය සීයකින් පමණ යුතු ගමක් බව පවසන මායාරංජන් එම ගම මැද ඉලුක් හෙවිලි කළ පන්සලක් තිබූ බවද සඳන් කරයි.
ඒ නමින් යුතු ග්‍රාම නාම අදද පරිද්දෙන්ම තිබේ. නමුත් ඒවායේ තත්ත්වය මායා රංජන් එදා දුටු තත්ත්වයට වඩා සියයට දහයකින් පමණ වෙනස් වී ඇති බවක් එහි ගිය අපට හැඟුණි. එම කෘතියේ නිවාස විස්සකින් සහ ජනගහනය විස්සකින් යුතු බව පැවසුණු මඩවලලන්දේ පාසල අද වන විට නවීන පාසලකට අවශ්‍ය අංග රැසකින් පිරිපුන් අති නවීන විද්‍යා නිකේතනයකි. මඩවලලන්ද විද්‍යාලය සුප්‍රකටම පාසල වන දමන මහා විද්‍යාලයටත් වඩා දියුණු තත්ත්වයක පවතින බවක් බැලූ බැල්මටම හැඟේ.
‘‘මේ පැත්තේ හුඟ දෙනෙක් දිගාමඬුල්ලේ ආශ්චර්ය පොත ගැනවත් ඒක ලියපු මායා රංජන් කියන ලේඛකයා ගැනවත් දන්නේ නැහැනේ. ඇයි පසුගිය කාලේ පියසේන කහඳගමගේ, පියදාස වැලිකන්න, පනම ගුණසේකර ගුණසෝම වගේ ලේඛකයොත් ඔය මායා රංජන් ගැන තොරතුරු ගවේෂණය කරලා පොත පත ලියලා තියෙනවනේ’’
මඩවලලන්දේ වෙළෙඳසලක් ඉදිරියේ රැස්ව සිටි කිහිප දෙනකු හමුවේ එම තොරතුරු අනාවරණය කළ මම මායාරංජන්ගේ අප්‍රකට තතු විත්ති ලබාගැනීම පිණිස තවදුරටත් උත්සාහ කළෙමි.
‘‘ඔය මායා රංජන් කෙනෙක් ගැන නම් දැන් මෙහේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. නමුත් නෙල්ලිකැලේ බුරියාගේ කතාව නම් ඒ කාලේ මෙහේ හැමෝම වගේ පත්තරෙන් කියෙව්වා.’’ සාමාන්‍ය පිටිසර ගැමියකුට වඩා ජේත්තුවට හැඳ සිටි මැදිවියේ අයකු කීයේ මා විස්මයෙන් අන්දමන්ද කරවමිනි.
පාතාල නායකයන් ඇතුළු බොහෝ අපරාධකරුවන්, මංකොල්ලකරුවන් සමාජයේ ප්‍රසිද්ධ වනුයේ තම ගමේ නමිනි. එලෙසම ඔවුන්ට ආරූඪ නම්ද තිබේ. එබැවින් නෙල්ලිකැලෙන් මතු වූ බුරියාද මා නොදත් එහෙත් එවැනි නම ගිය අපරාධකරුවකු යැයි මට සිතිණි.
‘‘බුරියා කියන්නේ අවුරුදු දොළහක දහතුනක විතර කොල්ලෙක්. ඒත් බුරියා ඇත්ත කොල්ලෙකුත් නෙවෙයි. ඉස්සර ‘‘දසුන’’ චිත්‍ර කතා පත්තරේ තිබුණු නෙල්ලිකැලේ කියන චිත්‍ර කතාවේ ප්‍රධාන චරිතය. කටේ දත් දෙකක් ඉස්සරහට ආපු ඒ චරිතය මේ පැත්තේ කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් මේ පැත්තේ සමහර ළමයින්ටත් බුරියා කියන නම වැටුණා’’ ඔහු කීය.
ඒ කෙසේ හෝ මායා රංජන් විසින් අක්කර තුන් දහසක් පමණ වෙතැයි පැවසූ නෙල්ලිකැලේ අද වන විට සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෙක්ටයාර් 1120කින් හෙවත් අක්කර 2762කින් යුතු වන රක්ෂිතයකි. නමුත් ඒ අවට ඇති සියලු ගම්මාන අද වන විට බෙහෙවින් නවීකරණය වී ඇති අතර එදා මඩු පිට්ටු ආදිය ආහාරයට ගත් එම ප්‍රදේශවල වැසියන්ගේ ආහාර රටාව පවා බහු ජාතික සමාගම්වලින් හඳුන්වා දෙන සුපෝෂිත ආහාර දක්වාම වර්ධනය වී ඇති අයුරු එම ප්‍රදේශවල වෙළෙඳසල් ඉදිරියේ ප්‍රදර්ශනය වන ප්‍රචාරක පුවරුවලින් සනාථ විය.
එමෙන්ම අද වන විට ප්‍රදේශයේ කාන්තාවන් නවීන රූපලාවණ්‍ය වෙත යොමු වී තිබූ අන්දම එහි මග තොට දී දක්නට ලැබුණු බොහෝ කතුන් වෙතින් පැහැදිලිවම දක්නට ලැබිණි. අතීතයේ පාගමන, පාපැදිය වෙනුවට අද පිරිමින් සේම කාන්තාවෝද මෝටර්සයිකල් ඇතුළු වෙනත් වාහන පැදවීමට යොමු වී සිටිති. දියවැඩියාව ජාතික මට්ටමින් ප්‍රචලිත කරවන චූන් පාන් සංස්කෘතියද එහි ව්‍යාප්ත වෙමින් තිබේ. මායා රංජන්ගේ කෘතියෙහි පැවසුණු ඉලුක් හෝ පොල් අතු සෙවිලි කළ පැල්පත් වෙනුවට අද දෙමහල්, තෙමහල් නිවාසද මෙම පෙදෙසට අරුමයක් නොවේ.
බොහෝමයක් යහපත් ධනාත්මක සමාජ සාධක බව අමුතුවෙන් කිව යුතු නැත. නමුදු මා මෙම කරුණු ගෙන හැර දක්වන ලද්දේ මායා රංජන්ගේ කෘතිය මගින් එදා පැවසුණු එම පරිසරය වර්තමානයේ වෙනස් වී ඇති බව ඔබට වටහා දීමට පමණි.
මෙම වෙනස ශ්‍රී ලංකාවේ සෑම ගම්වරයකටම පොදු බව ඇත්තකි. එහෙත් එදා මෙදා තුර පවතින එම පරිණාමය විමසීමට මායා රංජන්ගේ කෘතිය මගින් අපට ලැබෙන පිටිවහල සුළු පටු නැත. එහෙත් අද එය එම ප්‍රදේශයෙන් ගිලිහී ගොසිනි.
ඒ කාලේ මේවායේ තිබුණේ ඉලුක් පොල්අතු හෙවිලි කරපු ගෙවල් විතරයි. ගම්මුලා දෑනියන්ගේ ගේ වුණත් ගෙයක් ඊට වඩා දියුණු වුණේ සුළු වශයෙන්. මායා රංජන්ගේ දිගාමඬුල්ල ආශ්චර්ය කෘතියේ පැවසෙන යුගය මතකයට නංවා ගත හැකි දමන කීනවත්තේ පදිංචි අසූ හත් හැවිරිදි ආර්.ජී.එම්. ගුණවර්ධන මහතා අප හා කීය.
‘‘මට හොඳට මතකයි ඒ කාලේ ඩී.ඇස්. සේනානායක මහත්තයා මේ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරේ වැඩවලට එනවා. හැබැයි උන්නැහේ ළඟ ඔය අද ඉන්න අය ළඟ වගේ රැස්පොට් නැහැ. ආරක්ෂාවට හිටියේ එක පොලිස් රාලහාමි කෙනෙක් විතරයි.’’ ඔහු කීය. එමෙන්ම එවක එහි සේවය කළ මහානාම රාජපක්ෂ ගුරුතුමා සාහිත්‍ය ලෝකයේ දී මායා රංජන් බවට පත් වීම නිසා ද සමහරුන්ට ඔහුගේ අනන්‍යතාව පටලැවී තිබේ.
දමනයේ කීනවත්තේ සිරි සම්බෝධි විහාරය පිහිටියේ නෙල්ලිකැලේ වන රක්ෂිතයට තරමක් සමීපවය. එබැවින් ඒ පිළිබඳ අපට තොරතුරු දිය හැකි අයකු පිළිබඳ තොරතුරක් දෙන මෙන් මා කළ ඉල්ලීමට අනුව එහි ශ්‍රී ප්‍රියදර්ශන දහම් පාසලේ ඩිලානි ගුරුතුමිය අපට එන්.පී. ගුණරත්න වෙද මහතා හඳුන්වා දුන්නේය.
මායා රංජන්ගේ දිගාමඬුල්ලේ ආශ්චර්ය කෘතියෙහි තුන්වන පරිච්ඡේදය නම් කොට ඇත්තේ ‘‘මල්ලීට ලියුමකි’’ යනුවෙනි. එහි එක් තැනක ‘‘රණී’’ නම් යුවතියක පිළිබඳව මෙබඳු සඳහනක් තිබේ.
‘‘ඕ කළුය. පාරට්ටුවෙන්ම කිව හැකි පමණ කළුය. බෙහෙවින් රතු පැහැය ප්‍රිය කළ ඈ දෙමළ තාලයට ඇන්දාය. ඕ කළු වුවද කිසි ලෙසකින් අශෝභන නොවූවාය. රණී සැප පතන තරුණ ගොවියකුට සුදුසු නොකම්මැළි නිරහංකාර සිංහල බිරිඳක බව මඳ කලෙකින් මට පෙනිණි.
මායා රංජන් මහත්තයා දමන ඉස්කෝලේ වැඩ කරන කාලේ ඔය විස්තර කරන්නේ මගේ අම්මාගේ වැඩිමල් සහෝදරිය ගැන. අපේ ඒ ලොකු අම්මා දැන් ජීවතුන් අතර නැහැ. එයාට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ගුණරත්න වෙද මහතා එසේ කීයේ මායා රංජන් දිගාමඬුල්ලේ ආශ්චර්යය කෘතියෙන් හෙළි කරන ලද තොරතුරු සත්‍යයක් මිස ව්‍යාජයක් නොවන බව මනාව අවධාරණය කරමිනි.
‘‘මට වෙදකම උරුමවෙලා තියෙන්නේ මව් පාර්ශ්වයෙන්. ඒ වගේම ඔය නෙල්ලිකැලෙත් එක්ක අපිට පාරම්පරික සම්බන්ධයක් තියෙනවා. දැන් වන රක්ෂිතයක් හැටියට ඔය ප්‍රමාණයට සීමා වුණාට ඉස්සර ඔය නෙල්ලි කැලේ ඔයිට වඩා විශාල බවකුයි මම අහල තියෙන්නේ. ’’ කී ඔහු ‘‘නෙල්ලිකැලේ ඇතුළේ බලන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. නමුත් කැලේට යන්න විශේෂ සූදානමක් තිබිය යුතු හින්දා ඒකට වෙන වෙලාවක එන්න මම කැලේ ගැන දන්න හැම දෙයක්ම කියලා දෙන්නම්’’ යැයි කීයේ ඉතා සුහද ලෙසිනි.
දිගාමඬුල්ලේ ආශ්චර්ය ලියූ මායා රංජන් පිළිබඳ ප්‍රාමාණික දැනුම් සම්භාරයක් සහිත විද්වතකු අපට මුණ ගස්වන ලද්දේද ගුණරත්න වෙද මහත්තයා විසිනි. ඒ අම්පාර තිස්සපුර පදිංචි විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි විජේලත් මහතාය.
‘‘මායා රංජන් මහත්තයා දිගාමඬුල්ලේ ආශ්චර්ය පොතෙන් විස්තර කරපු චරිතවල තුන්වැනි පරම්පරාවල් තමයි අද ජීවත් වෙන්නේ. නමුත් මායාරංජන් මහත්තයාගෙන් පස්සේ එතුමා ගැන කරුණු සමාජගත කරපු මෙහේ දෙවැනි පරම්පරාවත් අද නැහැ’’ විජේලත් මහතා කීය.
පාදාගොඩ ගුණරත්න, මොරගහපල්ලමේ ලියන මහත්තයා, කෝරලේ මහත්තයා ආදී මායා රංජන් විසින් හඳුන්වා දෙන ලද එම චරිතයන්හි වර්තමාන පරපුරේ වැඩි පිරිසක් යහපත් සමාජ ආර්ථික පසුබිමකින් යුතු ජීවිත ගත කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
‘‘මායා රංජන් මහත්තයාගේ පොතට සම්බන්ධ හුඟක් චරිත 1818 අපේ රටේ පළමුවැනි නිදහස් සටනට පණ පොවපු උඩරට ප්‍රභූ පරම්පරාවට අයත් නිසා ඒ හුඟ දෙනෙක් තුළ අමුතු අභිමානයක් තියෙනවා. නමුත් දමන ප්‍රදේශය මුල් කරගෙන මායා රංජන් මහත්තයා කරපු සාහිත්‍යමය විප්ලවය මුල් කරගෙන එතුමා නමින් අඩුම ගණනේ මේ පළාතේ පාරක්වත් නම් නොකිරීම වැදගත් සමාජමය යුතුකමක් පැහැර හැරීමක් විදිහටයි මම නම් දකින්නේ.’’ විජේලත් මහතා කීයේ කනගාටුවකිනි. කෙසේ හෝ මායා රංජන්ගේ තතුවිත්ති සොයා ගිය පසුකාලීන සියලුම ගවේෂකයක් සහ ලේඛකයන් සමග සබඳතා ගොඩ නඟා ගැනීමට තමන්ට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් කීය.
විජේලත් මහතා එසේ කීවද ප්‍රායෝගික වශයෙන් බලන විට දමන ප්‍රදේශයේ බොහෝ දෙනකු නොදන්නා හෝ අමතක වූ මායා රංජන් වෙනුවට අදටත් ඔවුන්ගේ මතකය තුළ යහතින් වැජඹෙන නෙල්ලිකැලේ ‘‘බුරියා’’ පිළිබඳවද මෙහි යමක් සටහන් කිරීමට සිහි වූ බැවින් මම එම චිත්‍ර කතාව නිර්මාණය කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී රත්නසිරි මුණසිංහයන්ගෙන් බුරියා පිළිබඳවද විමසා සිටියෙමි.
‘‘ඔය නෙල්ලිකැලේ චිත්‍රකතාව ‘‘දසුන’’ පත්තරේට ඇන්දේ මීට අවුරුදු හතළිහකට විතර කලින්. ඒකේ ප්‍රධාන චරිතය තමයි ඔය බුරියා කියන කාත් කවුරුවත් නැති අහිංසක දරුවා. විරූපී මුහුණක් සහිත රූපයක් විදිහට මම හඳුන්වලා දීපු ඔය චරිතය අවුරුද්දක් තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු බව මමත් දන්නවා’’ චිත්‍ර ශිල්පී රත්නසිරි මුණසිංහ කීය.
‘‘කොහොම නමුත් ඔය බුරියා නෙල්ලි කැලෙන් මතුවීම මුල් කරගෙන ඔය කතාව නෙල්ලිකැලේ තියෙන අම්පාරේ දමන ප්‍රදේශයේ කොච්චර ජනප්‍රිය වෙලාද කිව්වොත් අදත් මැදි වයස් ගත කරන එහේ බොහෝ දෙනකුට නෙල්ලිකැලේ බුරියා මතකයි මම කීවෙමි.
එහෙත් එවිට රත්නසිරි මුණසිංහ සිත්තරුවා දුන් මෙම පිළිතුර නෙල්ලිකැලෙන් මායා රංජන් යටපත්ව මතුවීමේ සංසිද්ධිය උදෙසා සමස්ත නූතන සමාජය වෙතම එල්ල කළ දාර්ශනික උපහාසයකැයි මට සිතේ.
“හැබැයි ඔය කතාවෙන් ඉදිරිපත් කරපු නෙල්ලිකැලේ නම් මනඃකල්පිත එකක් මිසක් අපේ රටේ ඇත්තටම තියෙන කැලෑවක් නෙවෙයි”.
තිලක් සේනාසිංහ
ඡායාරූප – සහන් සංකල්ප සිල්වා