පුජිත්ගෙන් හා හේමසිරිගෙන් ප්‍රකාශ සටහන් කරමින් සිටිනවා සිඅයිඩි ය දන්වයි

July 22, 2019

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැර හැරීම සහ මිනීමැරුම් චෝදනා මත රිමාන්ඩ්බාරයේ සිට ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) දන්වා සිටියේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවත් පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවත් ඔහුගෙන් අද දිනයේත් ප්‍රකාශ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත්ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි. 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතා විසින් ලබා දී තිබෙන කට උත්තරය පිළිබඳව උද්යෝගයෙන් අවධානය යොමු කරන ලෙසත් එහි සහරාන් නමැති ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන්ව තිබෙන බවත් රහස් පොලිසියේ අවධානය යොමු කර සිටියේය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ පරීක්ෂණයකදී ලබාදෙන සෑම කටඋත්තරයක් සම්බන්ධයෙන්ම උද්යෝගයෙන් විමසා බැලීම අවශ්‍ය බවයි.

රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ද මෙහිදී සඳහන් කර සිටියේ නීතිපතිවරයා සෑම විටම විවෘත මනසකින් යුතුව පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ඩිල්ෂාන් ජයසූරිය යන  නීතිඥවරු කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදන හරහා තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

එම නඩුවේ දෙවන සැකකරු වන පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් නඩු දිනයේදී මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදු බවත් පෙන්වා දුන්නේය.

මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු ඇතැයි පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන මෙන්ද ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර සිටියේ සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව බවත් වර්තමානයේ තොරතුරු දැනගැනීමේ පනතද ඉදිරිපත් වී ඇති නිසා ඒ පිළිබඳව තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බවයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බව ඔහු කියා සිටියේය.

මෙම කරුණ පිළිබඳව තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම කරුණ නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයාට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළ විමර්ශන වන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 3 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද නියම කළාය.

t

o

p