ත්‍රස්තවාදයත් ඒ පිටුපස ඇති දෘෂ්ඨිවාදයත් පරාජය කළ යුතුයි

July 22, 2019

ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘශ්ඨිමය මතවාදය ද පරාජය කළ යුතුයයි ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය

මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ හලාවත සුදසුන ශාලාවේ පැවැති ජාතික මග හලාවත සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස තුනක් ගෙවෙන මේ මොහොත වන විට, ඒ සහරාන් සහ ඔහුගේ කල්ලි කණ්ඩායම්වලට අදාල මූලික පිරිස එක්කො අත්අඩංගුවට අරගෙන, එක්කෝ විනාශ කරලා තිබෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ ඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා. ඒ පිරිසෙන් තවත් පිරිසක් තවම නිදහසේ එළියේ සිටින බව අපි අමතක කළ යුතු නැහැ. ඒ වගේම මේ ත‍්‍රස්ත කණ්ඩායම මේ ලංකාව තුළ, ලංකාවේ ප‍්‍රශ්නයක් නිසා ලංකාවේ මුස්ලිම් ජනයාට සිදු වූ අසාධාරණයක් නිසා  නැගී සිටින පිරිසක් නෙමෙයි. මොවුන්ට තිබෙනවා ජාත්‍යන්තර අයිසිස් ත‍්‍රස්තවාදී අණදීම, ඒ නායකත්වයෙන්. ඒ අයිසිස් ත‍්‍රස්තවාදී නායකයා පසුගිය අපේ‍්‍රල් 29 වෙනිදා ඇවිල්ලා කිව්වා මේක කුරුස යුද්ධයේ දිගුවක් කියලා. කුරුස යුද්ධය අවුරුදු දහසකට කලින් ජෙරුසලම නිදහස් කර ගන්න යුරෝපීය හමුදා ගියා, මුස්ලිම් රජවරු, ඒ වගේම හිටපු යුධ නායකයෝ ඒකට එරෙහිව සටන් කළා. කුරුස යුද්ධ හතරක් මේ ලෝකේ සිදු වෙලා තිබෙනවා. ඒකෙම දිගුවක් හැටියට මේක ඔහු විග‍්‍රහ කලා.

අපිට නම් මෙය තේරෙන්නේ නැහැ, කොහොමද ලිබියාවේ, සිරියාවේ, ඉරාකයේ අද වන විට සිදුවෙමින් තිබෙන ඉරාණයේ සිදුවෙමින් තිබෙන දේවල් කොච්චිකඩේ, කටුවාපිටියේ අහිංසක කතෝලිකයන්ට මඩකලපුවේ සියෝන් දේවාලයේ කිතුණුවන්ට අදාල වෙන්නේ කොහොමද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. නමුත් මේ අන්තවාදීන් කල්පනා කරන්නේ ඔවුන්ගේ දහම, ඔවුන්ගේ දෙවියන් හැර එනම් අල්ලා දෙවියන් හැර අන් දෙවිවරු බොරුය. බොරු විතරක් නෙමෙයි ඒ අය විනාශ වෙන්න  ඕනෙයි කියන ආකල්පය. මේ ආකල්පය, මේ දෘෂ්ඨිය මත ඉඳගෙන තමයි මේ අය කි‍්‍රයාත්මක වෙන්නේ. එහෙමනම් අද මේක ආරක්‍ෂක ක්‍ෂෙත‍්‍රයෙන් පමණක් කි‍්‍රයාත්මක කරන්න බැහැ. අපට අද පේනවා දේශපාලන අධිකාරිය. ඒ වගේම බුද්ධි අංශ, ඒ වගේම මෙහෙයුම් අංශ, මේවා අතරේ විශාල හිදැස්, විශාල පරතරයන් මේ රටේ තිබිච්ච බව අද අපට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා මෙය මර්ධනය කරන්න  ඕනෙ නම් අනිවාර්යයෙන්ම මේ දේශපාලන අධිකාරිය ඒ වගේම ආරක්‍ෂක බුද්ධි අංශ, ඒ වගේම ආරක්‍ෂක මෙහෙයුම් අංශ එක තැනකට ඇවිල්ලා අන්තර්ජාතිකවත් මේ තොරතුරු හුවමාරු කරගෙන කි‍්‍රයා කළ යුතු වෙනවා.

ඒ වගේම අවි ආයුධ පැත්තෙන් විතරක් නෙමෙයි මුදල් එන පැත්තෙන් ඒ වගේම අන්තර්ජාලයේ ප‍්‍රචාරක කි‍්‍රයාවලීන් පැත්තෙන් සොයා බලලා කි‍්‍රයාත්මක වීම අත්‍යාවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා ක‍්‍රියාවලියක් මුදාහැරිය යුතුයි කියන එක තමයි අපි අවධාරණය කළේ. අපි ස්තූතිවන්ත වෙනවා මේ රටේ ආරක්‍ෂක අංශවලට. කෙටි කලක් ඇතුළත මේ ත‍්‍රස්තවාදී පිරිස කොටුකරගෙන විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකරපු එක ගැන. ඒ වගේම අනෙක් පිරිස් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකරගෙන ඒ සියළු පිරිස් ඇතිවෙන එක වලක්වමින් කි‍්‍රයා කිරීමට අත්‍යාවශ්‍ය වෙනවා. නමුත් මේ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳාගන්න  ඕනෙ නම් අපි මතක තබා ගත යුතුයි මේ ත‍්‍රස්තවාදියාගේ පිටුපස තිබෙන දෘෂ්ඨිය, දැක්ම, ඔහුගේ ඔලූවේ තිබෙන අදහස, ඔහුගේ හිසේ වැඩකරන චින්තනයත් සමග ගොඩනැගෙන සමාජ රාමුව වෙනස් කර ගැනීමට අපි ක‍්‍රියා කළ යුතුයි. අන්න එතැනයි වැදගත්ම කාරණය යැයි පැවසීය.

t

o

p