පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයයි යෝජනාවක් මිනුවන්ගොඩදී සම්මත වේ

July 22, 2019

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති එම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමටත් තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතු බවට ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් කමිටුවේ දී සාකච්ඡා කළා. දිස්ත්‍රික් කමිටුවේ ඒකමතික තීන්දුව වුණෙත් අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියන එකයි. ඒ අනුව අපි ඒ මතය මහින්ද රාජපක්ෂ මහතා වෙත දන්වා යැවීමට කටයුතු කරනවා.

කොහොම වුණත් අගෝස්තු මාසේ 11 වැනි දා අපේ පක්ෂයේ මහ සමුළුවේ දී අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ නායකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයා එතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා එතුමා අපේ යෝජනා ගැනත් සැලකිල්ල යොමු කරයි කියලා.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට අපේක්ෂකයෙක් නැතිව වල්මත් වෙලා තියෙනවා. සමහර ඇමැතිවරුන් හිතනවා තමන් අපේක්ෂකයා ලෙස නම් කරයි කියලා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අකමැති කිසිවකුට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගන්න බැරි බව. රනිල්ට ඕනේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි පක්ෂ නායකත්වය රැකගන්නයි.

අපි දැක්ක අපේක්ෂකයෝ නැතත් ආර්යාවෝ නම් බිහිවෙලා ඉන්නවා. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් හොයන්න නෙමෙයි බිහිවෙලා ඉන්න ආර්යාවට ගැලපෙන අපේක්ෂකයෙක් හොයන්නයි. සජිත් මහත්තයටත් සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආර්යාවට තියෙන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් අපේක්ෂකත්වය දිනාගන්න.

ජනාධිපතිවරණය ළංවෙන කොට එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි ජාති, ආගම් භේද වපුරවන්න උත්සහ ගනිමින් සිටිනවා. නපුංසක ඇමැතිවරුන් ලවා මහා සංඝරත්නයට අපහාස කරවීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ එ. ජා. ප නායකත්වයේ ආශිර්වාදය ඇතිවයි. එහි ප්‍රමුඛස්ථානය ලැබිලා තියෙන්නේ රන්ජන් සහ මංගල කියන ඇමැතිවරුන් දෙපළටයි.

අපි අවධාරණයෙන් කියනවා ජාති, ආගම් භේද වපුරලා මේ වතාවේ ජනාධිපතිවරණය දිනන්න එක්සත් ජාතික පක්ෂයට බැරි බව. මේ වතාවේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ පොදුජන පෙරමුණෙන්. මුළු රටම දැන් අපේ අපේක්ෂකයා දිනවීම සඳහා පෙළ ගැසී තිබෙනවා. ඒ අපේක්ෂකයාගේ අහළකටවත් ළං වෙන්න ඔය ඉන්න අපේක්ෂකයන් දුසිම් ගණනකටවත් බැහැ.

අපි දැක්කා සමහර අපේක්ෂකයෝ මේ දවස්වල කුඩේ කුඩු වෙලා යන හැටි. එක අපේක්ෂකයෙක් බලෙන් ප්‍රභූ වෙන්න ගිහින් ඇඳිවත ගලවා ගත්තා. තව අපේක්ෂකයෙක් කුණු ගෙන්නලා කුණු වෙලා ගියා. තවත් කෙනෙක් කැසිනෝ හින්දා නට්ටං වුණා. එහෙම බලනකොට පොහොට්ටුවට තර්ජනයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේවත් නැහැ.  

t

o

p