සංචාරකයන්ට දඩ මස් කියා බලු මස් කවන සුනඛ මස් ජාවාරම හිස ඔසවයි

July 4, 2019

ආහාරයට ගනු ලබන සත්ව මාංශ සේ අඟවා සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරම් මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති බැවින් සත්ව මාංශ මිලදී ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස “ අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුභ සාධක සංවිධානයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා අවධාරණය කරයි.
සීදූව, අම්බලම්මුල්ලේ පිහිටි සීදූව-කටුනායක නගර සභා කසල රඳවනය ආශ්‍රිතව කිහිප අවස්ථාවක දීම සුනඛ හිස් දක්නට ලැබීම ඊට ආසන්නතම සිදුවීම් දාමයක් බව පෙන්වා දෙන වෛද්‍ය විජයසිංහ මහතා පවසනුයේ මේවා කිසියම් බාහිර පිරිසක් විසින් එහි ගෙනවුත් දමන ලද මස් පිණිස ඝාතනය කරනු ලැබූ සුනඛයන්ගේ හිස් බව තම සංවිධානය අදහස් කරන බවයි. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ඇසළ උත්සව සමයේ කතරගම වන්දනා කරුවන් හට දඩමස් යැයි හඟවා සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය කරගැනීමට තම සංවිධානයට හැකි වූ බව පවසන වෛද්‍ය විජයසිංහ මහතා වැඩිදුරටත් පවසනුයේ ඒ අනුව එම කාලයේ ඒ පිළිබඳව මාධ්‍ය මඟින් දැනුවත් කිරීමටද තම සංවිධානයට හැකි වූ බවය. එමෙන්ම මෙවර ඇසළ උත්සව සමයේ ද කතරගම සේම සෙසු ප්‍රදේශ වලත් එම සුනඛ මස් ජාවාරම පෙරටත් වඩා ප්‍රබල ලෙස හිස එසැවිය හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් ද වඩාත් විමසිලිමත් විය යුතු යැයි වෛද්‍ය විජයසිංහ මහතා අවධාරණය කරයි.
මීට වසර ගණනාවකට පෙර රහසිගතව දඩ මස් අලෙවි කරන ලද බවට ප්‍රදේශවාසීන් දැන සිටි කතරගම පූජා භූමියේ ආප්ප විකුණන කන්තාවක සතුව තිබූ මාංශ කොටස් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඒවා සුනඛ මස් බව තහවුරු වීමත් සමඟ කතරගම ආශ්‍රිත මෙම සුනඛ මස් ජාවාරම පිළිබඳව තොරතුරු මුල් වරට ප්‍රසිද්ධියට පත්විය. පසුව 2014 වසරේ සැප්තැම්බර් 22 දා හම්බන්තොට බඳගිරියේ තම්මැන්නා වැව් රක්ෂිතයේ වන ජීවී නිළධාරීන් විසින් කරන ලද වැටලීමක දී ඝාතනය කරන ලද මුවකුගේ ශරීර කොටස් සමඟ සුනඛ හිස් කිහිපයක් ද එකම ස්ථානයක තිබී හමු විය. ඒ සම්බන්ධයෙන් හම්බන්තොට වන ජීවී අඩවි සහකාර ජේ.ඒ.පී විජය කුමාර මහතා පවසා සිටියේ මෙමඟින් මුවමස් සමඟ සුනඛ මස් කවලම් කොට විකිණීමේ ජාවාරමක් අනාවරණය කර ගත හැකි බවය.
එමෙන්ම 2016 වසරේ කතරගම ආශ්‍රිතව සිදුවන සුනඛ මස් ජාවාරම පිළිබඳව “අහිංසා ශ්‍රී ලංකා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද ස්ථානීය විමර්ශන වලදී ඒ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි විය.
සෙල්ල කතරගම, වතුරුවාරාම පාරේ සුනඛ හිස් සහිත පොහොර උරයක් හමු වීම, කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ අධිශීතකරණයක ප්‍රදර්ශනය කෙරෙන මුවකුගේ කුර ආදී ශරීර කොටස් සමඟ සුනඛ මස් අලෙවි කිරීම ඉන් කිහිපයකි.
පසුව ඒ සම්බන්ධයෙන් “අහිංසා ශ්‍රී ලංකා” සංවිධානය විසින් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන්ගෙන් ද ඒ පිළිබඳව කරුණු විමසන ලදී. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ කතරගම වන්දනාවේ පැමිණෙන සමහරුන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සේම ප්‍රසිද්ධ වැසිකිළි පවිත්‍රකරුවන්ගෙන් පවා දඩමස් පිළිබඳ විමසා සිටීම මුල් කොට නොයෙකුත් නීති සහ සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන ප්‍රදේශයේ යම් පිරිසක් මෙම පහත් ජාවාරම වෙත යොමුව ඇති බවයි. මෙහිදී “අහිංසා ශ්‍රී ලංකා ” විසින් කරන ලද විමසුමක දී වැඩිදුරටත් අනාවරණය වූයේ දඩමස් ලෙසින් වංචනික ලෙස අලෙවි කෙරෙන මෙම සුනඛ මස් කිලෝවක මිල රුපියල් දහසත්, එක් දහස් පන්සියයත් අතර වන බවයි.
මීට අමතරව නැගෙනහිර පළාතේ සිට අනුරාධපුර, පොළොන්නරුව ආදී සිද්ධස්ථාන වෙත වන්දනා කරුවන් ගමන් ගන්නා මාදුරුඔය පොළොන්නරුව මාර්ගයේ දඹගහඋල්පත පිහිටි දිඹුලාගල ප්‍රාදේශීය සභා කසළ රදවය ආශ්‍රිතව තිබී සුනඛ හිස් දෙදහසක් පමණ හමුවීම මුල් කොට 2017 ජුනි 05 දා එම ප්‍රදේශවාසීහු මාදුරුඔය, පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයක යෙදුනහ.
මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන “අහිංසා ශ්‍රී ලංකා” විධායක සභික විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ දණ්ඩ නීතී සංග්‍රහයේ 266 වගන්තියට අනුව ආහාරපානවල තත්වය සහ එහි 400 වගන්තියට අනුව වංචාව යන චෝදනා යටතේ මෙවැනි ජාවාරම්වල යෙදෙන්නවුන් හට එරෙහිව නඩු පැවරීමට පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ඇති බැවින් මෙවැනි සිදුවීමක් සම්බන්ධව තොරතුරක් දැනගත් විගස ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කරන ලෙසය.

t

o

p