ජනතාව අතර භීතිය හා ප්‍රචණ්ඩත්වය නැති කරන්න ආණ්ඩුව අසමත්

May 14, 2019

අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරයෙන් පසුව තවදුරටත් ජනතාව අතර භීතිය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තවීමේ අවදානම වැළැක්වීමේ වගකීම දේශපාලන නායකයන්ට හා ජනමාධ්‍ය වෙත පැවරී ඇති නමුත් එවැනි වගකීම් සහගත ක්‍රියාදාමයක් දක්නට නොලැබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් සිය ගණනක් මිය ගියද ප්‍රති-ප්‍රචණ්ඩ ක්‍රියාවලට යාමේ තත්වයක් නොතිබූ අතර එහෙත් එම විනාශයේ වගකීස එකිනෙකාට පවරමින් තවදුරටත් විනාශකාරී ප්‍රචණ්ඩත්වයකට මගපෑදීම ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන නායකයන් විසින් සිදුකරන ලදී. එසේම අන්තවාදින් සම්බන්ධ විමර්ශන කටයුතුවලදී මාධ්‍ය මගින් සිදුකළ වාර්තාකරණයෙන්ද ජනතාව තවදුරටත් ප්‍රචණ්ඩ හා අවදානම් මනෝභාවය්ට තල්ලු කිරීම සිදු වූ බව එම පක්ෂය පවසයි.

පෙ.ස.ප. විසින් මැයි 7 බත්තරමුල්ල කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මේ අදහස් පළ කරන ලදී.

ඔහු පළ කළ අදහස් සාරාංශයක් මෙසේය.

“සාමාන්‍ය ජනතාව  ආරක්ෂක සේවාවන් පවත්වාගෙන යන්න බදු ගෙවන නමුත් ඔවුන්ට ආරක්ෂාවක් සැලසෙන්නෙ නෑ. අවම වශයෙන් ජනතාවගේ ජීවිත  තර්ජන ඇති බව හෙළිදරව් වෙලා තියෙද්දී ඒ සම්බන්ධව තොරතුරවත් ජනතාවට දැනගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි මේ සියළු ආරක්ෂක සේවාවන් පවත්වාගෙන යන්නේ ජනතාවගන් එකතුකරන බදු මුදලෙන්. අපට දකින්න ලැබෙන ආකාරයට මේ වනවිට ආරක්ෂක කටයුතුත් මාධ්‍ය සංදර්ශන බවට පත්වෙලා. උදේට පුවත්පත් අරන් බැලුවම වැඩි පුරම තියෙන්නේ එක තැනකින් කඩු හම්බ වුනා, තවතැනකින් පිහියා හම්බවුනා, හමුදා ඇදුම්වලට සමාන ඇදුම් හම්බ වුනා වගේ ප්‍රවෘත්ති. මේ වනවිට රූපවාහිනි චැනල් සියල්ලගේමත් ගුවන්විදුලි මාධය සියල්ලගෙමත් ප්‍රධාන පුවත් ලෙස ප්‍රචාරය වෙන්නෙ මෙවැනි දේවල්. මේ ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කරමින් ජනතාව භිතිය තුල පවත්වාගෙන යාම නිසා එක් පැත්තකින් දේශපාලන නායකයන්ට වාසි ලැබෙනවා. ජනතාවට තමන්ගෙ ඇත්ත ගැටලු සම්බන්ධව පාලකයන් හමුවේ ගැටෙන එක වෙනුවට බෝම්බ බය ගැන හිතන්න වෙනවා. අනෙක් පැත්තෙන් මාධ්‍යවලට හොද ප්‍රචාරයක් ලැබෙන නිසා ජනප්‍රිය වෙනවා සහ ඒ හරහා දැන්වීම් ආදායම ඉහළ යනවා.

පහුගිය කාලයේ සිට ආරක්ෂක අංශ විසින් යම් යම් සැක කටයුතු ආයතන හා පුද්ගලයන් සම්බන්ධව පරීක්ෂා කිරීම් මෙහෙයුම්වලට යද්දී මාධ්‍ය කැමරා අරගෙන යන පුරුද්දක් තියනවා. අපට මතක හැටියට යුද්දේ කාලෙදීවත් එහෙම දෙයක් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් ආරක්ෂක අංශවලට තොරතුරක් ලැබුණම එතැනට ගිහින් ඔවුන් විසින් මුලින්ම විමර්ශනයක් කරන්න ඕන. එහෙම මුලින්ම විමර්ශනය කරලා යින් පස්සේ එතැන මොකද වෙලා තියෙන්නේ කියලා අනාවරණයක් කළ යුතුයි. ඒ සදහා මාධ්‍ය ආවරණය ගත හැකියි. මේ සියළු ප්‍රචාරයන් ගත්තම අපි දකින පැති ගණනාවක් තිබෙනවා.

එක් දෙයක් පැහැදිලියි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාරවලට එන්නේ කඩුවයි පළිහයි අරන් නෙවෙයි. මීට සියවස් දෙක තුනකට කලින් එවැනි සටන් තිබුණා. 1505 ලංකාවට පෘතුගීසින් එද්දී අරන් ආවෙත් තුවක්කු. නමුත් මේ වනවිට අපේ රටේ පාලකයන් හා මාධ්‍ය එකතු වෙලා හදන චිත්‍රය තමයි, අන්තවාදීන් ඔක්කොම කඩු අරගෙන සටන් කරන බව. අප දන්නා ආකාරයට මේ විදියට කඩු ළග තබා ගැනීම පිළිබදව පැති ගොඩක් තියනවා. ප්‍රචණ්ඩ ක්‍රියා සදහා කඩු තියා ගත් අවස්ථා තිබෙනවා. තවත් අවස්ථාවක ආගමික සංස්කෘතියේ කොටසක් ලෙස කඩු තියා ගත්තු ඒවා තියනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි හින්දු කෝවිල් වැටලුවොත් එහෙම ත්‍රිශූල හොයා ගන්න පුළුවන්. ගම්වල කඩු සහ විවිධ ආකාරයෙන් හැඩ කරපු පිහි තියෙනවා. ඒ නිසා මේ වගේ එක එක ආයුධ හොයා ගන්න පුළුවන් ඒවා එක එක සංස්කෘතීන් එක්ක බද්ධවෙලා තිබෙනවා. ඒ වගේම කඩුව කියන එක අරාබි සංස්කෘතියත් එක්ක මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියත් එක්ක ඉස්ලාමයත් එක්ක බද්ධවෙලා තියනවා. ඒ නිසා මේ ආකාරයෙන් කඩු තිබීම හේතු කොටගෙන ප්‍රචාරයන් ගෙන යාම විනාශකාරී තත්වයක්.

නිශ්චිතව කියනවා නම් ආත්මාරක්ෂාව සදහා කඩුවක් ගෙවල්වල තියා ගත් පැරණි පරපුරේ ගැමියන් හිටියා. ඒ වගේම මුස්ලිම් කණ්ඩායම් අතරම ගැටුම් ගැනත් අපිට අවබෝධයක් තිබෙනවා. සමහර අවස්ථාවල සමහර මුස්ලිම් පල්ලිවල අයම කිව්වා අන්තවාදින් හෝ මූලධර්මවාදි ප්‍රහාර පල්ලි වලට එතැයි කියන බයට ආත්මාරක්ෂාවට ආයුද තියා ගත්තා කියලා. ඇත්තම කාරණය සමහර තැන්වල ආගමික නොසන්සුන්තා ඇති වුණා. පහුගිය කාලේ උදාහරණයක් විදිහට අලුත්ගම ප්‍රචණ්ඩකාරී සිදුවීම්, බෙන්තොට සිදුවීම් ඒ වගේම දිගන තෙල්දෙණිය වගේ තැන්වල පහුගිය කාලේ නොසන්සුන්තා ඇති උනාම සමහර අය කඩු තියන් හිටියා ආත්මාරක්ෂාවට.

මේ විදිහේ මහා විශාල පරාසයක් හේතු ගණනාවක් නිසා කඩු ළග තබාගැනීමේ අරමුණු තියෙද්දී ඒ ඔක්කොම කට්ටිය එක අයි එස් ත්‍රස්තවාදීන් කරලා. මේ කඩු යම් ප්‍රචණ්ඩ කටයුත්තක් සඳහා ගෙන එන ලද ඒවාද එහෙම නැද්ද කියන එක පිළිබඳ විමර්ශන පවත්වා එය තීරණය කළ යුත්තේ පොලිසිය විසිනුයි.  අවදානමක් ඇති වෙනකොට තමන්ගේ ආත්මාරක්ෂාව ගැන හිතපු මිනිහත් සහ මරාගෙන මැරෙන මිනිහත් එකම ගොඩට දාල සළකන කොට ඒක මහා විනාශයක්. එහෙම කලාම තමන්ගෙ ආත්මාරක්ෂාව ගැන හිතන ආත්ම ගෞරවය ගැන හිතන කෙනෙකුත් ත්‍රස්තවාදියෙක් වෙනවා. කවුරුහරි ගහන්න ආවොත් ආරක්ෂා වෙන්න කියලා හිතන කෙනාවත් අන්තවාදී ගොඩට තල්ලු කරනවා.

ඒවගේම හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් සොයා ගැනීමේදීත් මෙයට සමාන තත්ත්වයක් තියෙන්නේ. හමුදා ඇඳුම් කියලා හොයාගන්නෙ කැමා ටී ෂර්ට්. ඒවා තරුණ ගැහැණු සහ පිරිමි ළමයි අඳිනවා. රෙදි වෙළඳාම් කරන අය ළඟ විශාල වශයෙන් ඒ ඇඳුම් තියෙනවා. අනතවාදී කටයුතුවලට යුධ හමුදාව ලෙස වෙස් වලා ගැනීම සඳහා ඇඳුම් තියාගෙන ඉන්න අය කවුද? ඒවා වෙළඳාම් කරන්න තියාගෙන හිටපු ඒවා විලාසිතාවක් ලෙස භාවිතා කරපු අය කවුද කියන කාරණා වෙන් කරලා අඳුරගන්න අවශ්‍යයි. විමර්ශනයක් සිදුකරලා කවුද ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා හමුදා ඇඳුම්වලට සමාන මේ ඇඳුම් පාවිච්චි කරලා විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න උත්සාහ කරේ, මෙයා රෙදි වෙළඳාම් කරන කියන එක කියන්න ඕනා පොලිසියයි. මේ කිසිවක් නැතුව අතනින් කඩු හොයාගත්ත මෙතනින් හමුදා ඇඳුම් හොයාගත්තා කියලා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම හරහා කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නැති මිනිස්සු ඒවාට සම්බන්ධ බව පෙනවලා කරන්නේ විශාල විනාශයක්.

අපි මීට කලින් පුන පුනා කිව්වා වගේ මේ අන්තවාදී ප්‍රහාර නිසාම මුලු මහත් මුස්ලිම් ජනසමාජයම ඒ අන්තවාදීන්ට තෑගි ඔප්පුවකින් ලියලා දෙන එපා. ප්‍රහාර සිදුකළ සුලු පිරිස නිසාම සමස්ත මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගෙ ගොඩටම තල්ලු කරන එක නවත්වමු. මින් පසුවවත් අන්තවාදී පුද්ගලයන්ට විවිධ හේතු නිසා සාමාන්‍ය ජනසමාජයෙන් පිටස්තර තීන්දු ගන්න ඇති අවස්ථා උපරිම ලෙස වළක්වමු.“

t

o

p