පාස්කු ප්‍රහාරයෙන් පසු රට නොසන්සුන් තත්ත්වයකට ගමන් කරනවා

May 14, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ හටගත් නොසන්සුන් ස්වභාවය මේ වන විට බරපතළ අර්බුදයක් කරා ගමන් කරන බවක් පෙනෙන්නට තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. මන්ත්‍රිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන්වේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් රිදුණු සිත් සුවපත් කරනු වෙනුවට ජාතීන් අතර වෛරය තව තවත් ඇවිලෙන ආකාරයට කටයුතු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙම තත්ත්වයට හේතු වී ඇති බව රහසක් නොවේ. එම නිසා රට තුළ අද ඇවිලෙන ගින්නෙහි පූර්ණ වගකීම රජය විසින් භාර ගත යුතුය.

මීට වසර දහයකට පෙරාතුරව වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී රුදුරු කොටි ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන් එකාමෙන් එක්ව දීප්තිමත් අනාගතයක් කරා යමින් සිටි ගමන නතර කෙරුණේ යහපාලන රජයේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හේතුවෙනි. යහපාලනය මෙන්ම සහජීවනය යන වදනත් අරුත් සුන් වදන් බවට පත් කිරීමට රජය කටයුතු කළේ රටම විනාශය කරා ගෙන යමිනි.

ජාතික ආරක්ෂාව බින්දුවට දමා සිදුකළ රණවිරු දඩයමේ ප්‍රතිඵල අද ඇස් පනා පිටම පෙනෙන්නට තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඊට සරල උදාහරණයකි. එම ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිව යුතු රජය, එම වරද නිලධාරීන් පිට පටවා අත සෝදා ගැනීමට උත්සාහ ගැනීම විහිලුවකි. ප්‍රහාරයෙන් දින 23ක් ගත වී ඇතත් පාස්කු ඉරිදා මිනිස් සිත් සතන් තුළ හටගත් භීතිය පහ කරලීමට ආණ්ඩුවට තවමත් හැකි වී නැත.

එවන් පසුබිමක් තුළ මේ වන විට රට තුළ නැගෙමින් පවතින ජාතිවාදී ගිනිදැල් නිවනු වෙනුවට ඒවා බුර බුරා දැල්වෙනු දැකීමේ පහත් චේතනාවකින් රජය කටයුතු කරන බව පැහැදිලිව දක්නට තිබේ. විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතීන් අතර අසමගිකම් දලු ලා වැඩෙනු ඇතැයි නිසැකව දැන සිටියදී පවා රජය කටයුතු කළ ඕලාරික ස්වභාවය අද රට මුහුණ පා තිබෙන අර්බුදයට මුල බව මාගේ අදහසයි.

විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය කළා යැයි චෝදනා ලැබ සිටින ඇමැතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ආරක්ෂා කිරීමට තිබෙන අවශ්‍යතාව සමස්ත පොදුජනතාව ආරක්ෂා කිරීමෙහිලා නොදැක්වීම නිසා ජනතාව නීතිය අතට ගෙන කටයුතු කිරීමට ප්‍රමුඛතම හේතුවක් වී තිබේ. ඇමැති සගයන් ආරක්ෂා කරමින් ජනතාවට තුවක්කු දිගු කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් රජය ලැජ්ජා විය යුතුය.

මෙවන් අවස්ථාවක දී ඉවසිල්ලෙන් කටයුතු කිරීම විනා නීතිය අතට ගෙන කටයුතු කිරීම නොමනා බව ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන් අවබෝධ කර ගත යුතුය. සිය රාජකාරිය හරිහැටි ඉටු කර ගත නොහැකි වූ රජය තමන් කෙරෙහි යොමු වන්නා වූ ජනතා විරෝධය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි යොමු කරවාලීමේ අරමුණකින් යුක්තව ක්‍රියා කරන බව වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිය.

එබැවින් රජයේ ගැටයට හසු වී අප සතු අභිමානවත් බව විනාශ කර නොගන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිමි. එසේම තවත් වැඩි දිනක් යන්නට පෙර ඔබගේ සිත් තුළ නැගෙන ආණ්ඩු විරෝධය එළිපිටම ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව වන ජනාධිපතිවරණය එළැඹෙන බැවින් එතෙක් ඉවසා සිටින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. ජාතිවාදයට මුවා වී රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීමේ සහ මැතිවරණ කල්දැමීමේ කූඨ උපක්‍රමය පරාජය කරමු.

t

o

p