ආරක්ෂක මණ්ඩලයට පිටස්තර පුද්ගලයන් සහභාගී කරගත් බව ජනාධිපති පිළිගනියි.

May 7, 2019

ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් සදහා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගී කරගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

තමන් විපක්ෂයේ මන්ත‍්‍රීවරු මෙන්ම කැබිනට් මණ්ඩලයම ජාතික ආරක්ෂක කවුන්සිලයට සහබාගී කරගත් බව ජනාධිපතිවරයා කීවේය. ඊට අමතරව මැල්කම් රංජිත් කාදිනල් තුමාද වරක් ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරගත් බව ද ජනාධිපතිවරයා කීය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මේ සිදුවීම පිළිබද මම උදේ දහයට පමණ සිංග්පූරුවේ සිටියදී වාර්තාවූවා. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් සම්බන්ධවී මේ සිදුවීම සිදුවූවායැයි හිතා ගැනීමට බැරිවුනා. සිංගප්පූරුවේදී උදේ දහයට පමණ දැනගත් මා හට දහවල් දොලහට පමණ අපේ ඩී.අයි.ජී. කෙනෙකුගේ ලිපියකුත් සමාජ මාධ්‍ය වල තිබියදී මට පෙන්වූවා .

ඒ ලිපිය දුටු විට මේ සිදුවීමට පෙර ආරක්ෂක අංශවලට වාර්තාවී ඇති බව පෙනී ගියා. ඒ මොහොතේ සිට මෙයට වගකිව යුත්තන් සොයා බැලිය යුතු බවත් ඒ සදහා ජනාධිපති කොමිෂන් මණ්ඩලයක් පත් කිරීමටත් තීරණය කළා. මම ලංකාවට ඒමට පෙර සිංගප්පූරුවේ සිට ජනාධිපති ලේකම්වරයාට කතා කරලා මේ අයගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලය පත් කිරීමට උපදෙස් දුන්නා.

විසි දෙවැනිදා උදේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීමට පෙර මේ පරීක්ෂණ මණ්ඩලය පත් කළා. ආරක්ෂක මණ්ඩලය රැස්වී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම මම සිංගප්පූරුවේ සිටම ආරක්ෂක ප‍්‍රධානීන්ට, අගමැතිවරයාට කතා කර කළ යුතු දේ ගැන උපදෙස් දුන්නා. ගතවූ දින දහයක කාල සීමාව තුළ මේ සිද්ධිය සම්බන්ධවත්, නැවත මෙවැනි සිදුවීමක් වීම වලක්වා ගැනීම සදහාත් ගත හැකි ගත යුතු සෑම පියවක් ගෙන තිබෙනවා.

අපේ‍්‍රල් මස 24 වැනිදා රටවල් 53ක තානාපතිවරුන්ට සිදුවීමේ තත්ත්වය හා රජය ගන්නා පියවර පැහැදිළි කළා. අපේ‍්‍රල් 24 වැනිදා රාත‍්‍රී නමයට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළ පොලිස් නිලධාරීන් කැදවා පැය දෙකක පමණ සාකච්ඡුාවක් පවත්වා අදාල උපදෙස් ලබාදුන්නා. මේ සභාව නියෝජනය කරන සර්ව පාර්ක්ෂික දේශපාලන නියෝජිත සමුළුවක් කැදවූවා. ඒකට මම ආරාධනා කළ සියලුම පක්ෂ පැමිණියා.

ඒ වගේම ආරක්ෂක ප‍්‍රතිසංවිධානය සදහා අවශ්‍ය පියවර ගත්තා. ඒ වගේම රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග මාධ්‍යයේ වගකීම් ගැන සාකච්ඡුා කළා. අපේ‍්‍රල් 29 වැනිදා මේ සිදුවීම නිසා බරපලතල ආර්ථික අලාභයකට පත්වූ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කණ්ඩායම් කැදවා සාකච්ඡුා කළා. ආණ්ඩුකාරවරු නම දෙනා සමග සාකච්ඡුා කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු හමුදා ප‍්‍රධානීන් සමග හමුවී ආරක්ෂක විධිවිධාන ගැන වර්තාවක් මා වෙත ලබාදුන්නා. එම වාර්තාව ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදුන්නා.

මම ආරක්ෂක මණ්ඩලයට විපක්ෂයේ මන්ත‍්‍රීවරු සහභාගී කරගන්නවා. පසුගියදා මැල්කම් රංජිත් කාදිනල්තුමා කැදවාගතත්තා. ආරක්ෂක මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට එන්න කියලා දැනුම් දුන්නා. කැබිනට් මණ්ඩලයෙන් භාගයක්ම ඒකට ආවා. විවිධ ක්ෂේත‍්‍රවල වගකිව යුත්තන් ආරක්ෂක මණ්ඩලයට වරින් වර කැදවා තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයේ පෙර තිබූ තත්වයට වඩා වෙනස් ව්‍යහයක් ඇති කර තිබෙනවා. එයට ගෙන්විය යුතු බවට සුදුසු යැයි සිතන අය ගෙන්වනවා. ආරක්ෂක මණ්ලඩය ට වෙනස්කම් ඇති කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂක අංශ වෙනස් කර තිබෙනවා.

මේ වන විට සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට පනස් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් දොළොස් දෙනෙක් ඉතාම භයානක අයයි. මේ ත‍්‍රස්ත ව්‍යාපාරය සම්බන්ධ අයගේ ආරක්ෂක නිවස්න 13ක් සොයාගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදීණ්ගේ බැංකු ගිණුම් 41ක් සොයා ගෙන තිබනෙවා. ඒවායේ බැංකු කටයුතු තහනම් කර තිබෙනවා.

මේකට සම්බන්ධ සියලුදෙනාගේම බැංකු ගිණුම්, දේපල, වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ ත‍්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ එක් අයෙක්ට රුපියල් ලක්ෂ විස්ස බැගින් ගෙවීම් කරලා තිබෙනවා. රුපියල් මිලියන 18ක් ඒ අනුව සොයාගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදීන්ට අයත් වාහන 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ත‍්‍රස්ත සංවිධානයේ අකුරු දෙක මම කියන්නේ නෑ. ඒ ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් ඒ අකුරු දෙක ප‍්‍රකාශ නොකරන නිසයි.

මේ සංවිධානය බටහිර චින්තනයට විරුද්ධව ගොඩ නැගුණු ව්‍යාපාරයක්. එය කිතු දහමට, කුරුසයට විරුද්ධව කටයුතු කරනවා. එකපැත්තකින් ඇමරිකානු ජාතිකයින්, සුදු ජාතිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කයක්. ඒ වගේම මොවුන් වතිකානුවේ සිය කොඩිය එසවූ දවසට තමන්ගේ ජයග‍්‍රහණය ලබන බව මොවුන් පවසා තිබෙනවා.

මේ ත‍්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනාම විනාශ කළ යුතු යැයි මම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.මේ ප‍්‍රශ්ණය තුළ මුස්ලිම් ජනතාවගේ තත්වයත් තේරුම් ගත යුතුයි. මුස්ලිම් ජනතාව කුපිතවූ සිංහල ජනතාව පහරදෙතැයි යන බියෙන් සිටිනවා. මේක දෙමළ ජනතාවටත් බලපාලා තිබෙනවා. උතුරු ප‍්‍රදේශයේත් සැලකිය යුුතු දරුවන් පැමිණ සිටියේ නැහැ.

බුද්ධි අංශ වාර්තා අනුව මේ සංවිධානයේ ක‍්‍රියාකාරී වී සිටින්නේ එකසිය පනහකට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙමනම් අනෙක් සියලුම මුස්ලිම් ජනතාව අන්තවාදී ත‍්‍රස්තවාදයට තල්ලු කරනවාද කියලා තීරණය කරන්න ඔ්න. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භයත් සමග දෙමළ මිනිස්සු දිහා බලපු විදියට මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා. මේ තත්වය වෙනස් කරලා රටේ ස්ථිර සාමයක් ඇති කරගන්න පුලුවන්. ඒත් සමාජ මාධ්‍ය හරහා ජනතාව නොමග යැවීම් එක්ක සිංහල, මුස්ලිම් ජනතාව අතර ඈත්වීමක් සිදුවුනොත් ඒ අය වේගයෙන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට ඇදී යනවා.

අපි ආරක්ෂක අංශ, බුද්ධි අංශය කෙරෙහි විශ්වාසයක් තැබිය යුතුයි. ඒ අයට අවශ්‍ය බලතල ලබාදී තිබෙනවා. අවශ්‍ය ආකාරයට හමුදා ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කරලා පියවර ගන්න කියලා මම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුමී තිබෙනවා. මම හදිසි නීති බලතල එක්ක සියලුම බලතල ආරක්ෂක අංශවලට ලබාදී තිබෙනවා.

පොලීසියේ විශාල විනාශයක් වෙලා තිබුණේ. මම පොලීසිය භාරගෙන මාස හතරයි. අපේ‍්‍රල් 21 වැනිදා සිදුවීමට පෙර මම පොලීසිය භාරගැනීම ගැන ජනතාවගේ විශාල ප‍්‍රසාදයක් ඇතිවී තිබුණා. පහුගිය අවුරුදු තුනේ පොලීසියට කසිප්පු ටික අල්ලා ගැනීමට බලයක් ලබාදී තිබුණේ නෑ. මම පොලීසිය භාරගන්නා විට පොලිස් ස්ථාන තිහකට එක වාහනයක්වත් තිබුණේ නෑ. මම පොලීසියට අලුත් මුහුණුවකර් දුන්නා.

මේ රටේ ජනතාව බිය විය යුතු නෑ. ආරක්ෂක අංශ කළ යුතු දේ කරලා තිබෙනවා. අත්අඩංගුවට ගත යුතු අයගෙන් සියයට අනූ නමයක් ඇත් අඩංගුවට ගෙන තිබෙනවා. දවස් තුනක් ඇතුළත අත්අංගුවට ගත යුතු සියලුදෙනාම අත්අඩංගුවට ගෙන අවසන් කරනවා.

ත‍්‍රස්තවාදය කොයි වෙලාවේ කොතැනදී වේවිද කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා අපිට කළ හැකි උපරි දේ අපි කරනවා. විවේචන අවශ්‍යයි. හැබැයි ඒ විවේචනය සාධාරණ විය යුතුයි.

t

o

p