ආරක්ෂාව සහතික කරමින් ආරක්ෂක අංහ විසින් ඉදිරිපත් කළ ලේඛන 12 ක් අගමැති පාර්ලිමේන්තුවට දෙයි

May 7, 2019

රටේ වත්මන් ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිද හමුදාව හා පොලීසිය ලබා දුන් ලේඛන 12 ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කළේය.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්ය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක් වෙමින් අගමැතිවරයා මෙම ලේඛන ඉදිරිපත් කළේය. විවාදය අද හා හෙට (08) යන දෙදින පුරා පස්වරු 1.00 සිට රාත්‍රි 7.00 දක්වා අඛණ්ඩව පැවැත්වේ.

එම විවාදයට එක් වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවත් ඉන් අනතුරුව අප විසින් ගත් ක්‍රියාමාර්ග හා ඉදිරි ආරක්‍ෂක වැඩපිළිවෙල පිළිබඳවත් මා කිහිපවිටක්ම ජනතාව දැනුවත් කළා. එසේම, බාධා කිරීම් රැසක් මැද අප්‍රේල් 24 දින පාර්ලිමේන්තුවේදීත් මා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

අද දින වන විට මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතියත්, ප්‍රහාරවලින් ජීවිත හානිවූ හා තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් වන්දි ගෙවීමේ ප්‍රගතියත් ජනජීවිතය යථාතත්වයට පත්කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට මා අදහස් කළා.

මේ වනවිට රටේ ආරක්‍ෂක තත්වය යහපත් තලයකට ගෙන එන්නට ආරක්‍ෂක අංශ සමත් වෙලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලූ දෙනාම පාහේ නීතියේ රැහැනට කොටුකර ගන්නට සමත් වෙලා තියෙනවා. දැනට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයින් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධව විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමයි. තරාතිරම නොබලා ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට රජයක් විදිහට අපි අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති විසින් වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව අද දින මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කලා. මීට අමතරව මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව මම පොලිස්පතිතුමා වෙතින් වාර්තාවක් ලබාගත්තා.

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවල පසුබිම පිළිබඳවත් මම කරුණු කිහිපයක් සඳහන් කරන්න කැමතියි. 2014 වර්ෂයේ සිටම සිරියාවට ගොස් IS සංවිධානය හා එක්වූ පුද්ගලයින් පිළිබඳව යම් යම් බුද්ධි තොරතුරු ලැබී තිබුනා. IS සංවිධානයේ නායක අබුබක්කර් අල් බැග්ඩෑඩ් 2014 ජුනි 29 වන දින ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ලොව පුරා මුස්ලිම් පිරිස් ඉස්ලාම් රාජ්‍යයේ ජීවත්වීමේ අපේක්ෂාවෙන් සිරියාව සහ ඉරාකයට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ ආකාරයට විදේශීය පිරිස් සිරියාව සහ ඉරාකයට සංක්‍රමණය වූ 2014 වර්ෂයේ අප රටේ පුද්ගලයින් කිහිප දෙනෙකුත් තුර්කිය හරහා සිරියාවට ගමන් කරලා IS සංවිධානයට සම්බන්ධ වී තිබෙනවා. මොහොමඩ් මුහුසින් ඉෂාක් අහමඩ්, මොහොමඩ් උනසින් මොහොමඩ් අමීන් සහ මොහොමඩ් සුවයීර් මොහොමඩ් අරූස් යන ශ්‍රී ලාංකිකයින් විදේශයන් වල සිට සිරියාවට ගොස් IS සංවිධානය හා සම්බන්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා.

IS නායකයා විසින් ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඉරාකය හෝ ඇෆ්ගනිස්ථානයේ IS කඳවුරු වෙත ගොස් අවි පුහුණුව ලබා මෙරටට පැමිණි පුද්ගලයින් පිළිබඳ වාර්තා වෙලා නැහැ. එසේ නමුත් මෙරට මුස්ලිම් පුද්ගලයින් සිරියාවට ගිහින් අවි පුහුණුව ලබා පැමිණ ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව බුද්ධි අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තියෙනවා. අපරාධ විමර්ශන කොට්ඨාෂයේ අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් සාදිත් අබ්දුල් හක් නැමැත්තා 2014 වර්ෂයේ සිරියාවට ගොස් අවි පුහුණව ලබා මෙරටට පැමිණ ඇති බවත්, දෙහිවල බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නැමැත්තා IS සංවිධානයට සම්බන්ධවීම සඳහා 2014 වර්ෂයේ සිරියාවට යෑමේ අරමුණින් තුර්කිය වෙත පිටව ගොස් පෙරලා මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා.

IS සංවිධානයට සම්බන්ධව සිට මියගිය මුල්ම ශ්‍රී ලාංකිකයා වන මොහොමඩ් මුහුසින් සෆ්රාස් නිලාම් නැමැත්තා 2015 ජනවාරි 15 වන දින මෙරට සිට තුර්කිය හරහා සිරියාවට යන අවස්ථාවේ ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියන්ද සිරියාවට ගමන් කර තියෙනවා. ඒ වයෝවෘද්ධ දෙමාපියන් දෙදෙනා කාලයක් සිරියාවේ රැඳී සිට 2016 ජනවාරි 29 වන දින මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකරකම් හා ඇසුරු කරන්නන් සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ විසින් සමීපව පරීක්ෂණයක් කරමින් සිටන බවත් සඳහන් කරන්න කැමැතියි.

මෙම ප්‍රහාරවලින් මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලකුත්, තුවාල ලැබූ පුද්ගලයින් සඳහා උපරිමය රුපියල් ලක්ෂ පහ දක්වා වන වන්දි මුදලකුත් ගෙවීමට මෙන්ම හානිවූ දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගත්තා. ඒ අනුව මේ වනවිට කටුවාපිටිය, මඩකලපුව හා කොච්චිකඩේ ප්‍රහාරවලින් මියගිය 102 දෙනා හා තුවාල ලැබූ 42 දෙනා වෙනුවෙන් මූලික වන්දි මුදල් ගෙවීම මේවනවිට අවසන් කර තිබෙනවා. එසේම එම ප්‍රහාරවලින් හානියට පත්වූ දේවස්ථාන කඩිනමින් යුද්ධ හමුදාව හා නාවික හමුදාව එක්ව ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබාදෙනවා.

ජන ජීවිතය යථාතත්වයට පත්කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමට ද අප කටයුතු කරමින් සිටිනවා. ඊයේ දින පාසැල් විවෘත කිරීමට කටයුතු කළා. ආරක්ෂක හමුදා හා පොලීසිය එකාබද්ධව පාසැල්වල ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. මා මේ සම්බන්ධ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ලබාගත්තා. ඊයේ දින පාසැල් ළමුන්ගේ පැමිණීම අඩුමට්ටමක තිබුණත් එය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එසේම,  පසුගිය ඉරිදා බොහෝ ක්‍රිස්තියානි පල්ලිවල දේව මෙහෙයන් සිදුකෙරුනා. එසේම පසුගිය සිකුරාදා මුස්ලිම් පල්ලි තුල යාඥාවන් සිදුකරනු ලැබුවා. මේ සියලු කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට අවශ්‍ය ආරක්‍ෂාව සහතිකකිරීමට අපේ ආරක්‍ෂක අංශ සමත්වී තිබෙනවා.

නමුත් මම අවස්ථා ගණනාවකදී සඳහන් කළ අන්දමට අනතුර සම්පූර්ණයෙන්ම පහවී ගොස් නැති බව අපි සියලූදෙනාම මතක තබා ගතයුතුයි. මොකද අද අපිත් ගොදුරුවී ඉන්නේ ගෝලීය ත්‍රස්තවාදයට. ඒ ව්‍යාපාරයට ලංකාවේ සිට සම්බන්ධවූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තත් වෙනත් ආකාර ගණනාවකින් ඒ ත්‍රස්තවාදය ලංකාවට අතපොවන්නට ඉඩ තිබෙනවා.

ඒ නිසා මේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර වශයෙන් සියළු රටවල් එකට එක් විය යුතුයි. බුද්ධි තොරතුරු හා තාක්‍ෂණය හුවමාරු කරගත යුතුයි. මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම අපිට විශාල අභියෝගයක්. මේ සඳහා පවතින නීති රාමුවත් ශක්තිමත් කල යුතුයි. ඒ සඳහා ප්‍රති ත්‍රස්ත පනත හඳුන්වා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ලෝකයේ රටවල් ගණනාවක බුද්ධි හා ආරක්‍ෂක අංශ සහය අපට ලැබුණු බව ඔබ සියළු දෙනාම දන්නවා. එසේනම් ඊටත් වඩා ජාත්‍යන්තර සහයෝගයක් ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලබාගත යුතුයි. සමහරුන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම විදේශ හමුදා මෙරටට ගෙන්වා ගැනීමට සූදානම් වීමක් ලෙසට හුවා දක්වනවා. නමුත් ඒවැනි දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් සියළු පාර්ශවයන්ගේ සහය ලබාගෙන අපි ඊට මුහුණ දෙනවා. රටේ ආරක්‍ෂාව තවුරු කරනවා.

ඒ වගේම මේ ත්‍රස්තවාදී හා දේශපාලන අන්තවාදීන්ගේ අරමුණ රටේ එදිනෙදා කටයුතු අඩාල කොට ජන ජීවිතය කඩා කප්පල් කර රට තුළ ප්‍රශ්න මවා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. රජයක් හැටියට අපි ඒකට ඉඩදෙන්නේ  නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතය අරම්භ කළයුතුයි. එදිනෙදා වැඩකටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. හැමවිටම ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි.

ඒ සඳහා එකට එක්වී අත්වැල් බැඳගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

t

o

p