ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතනට මෙතනට ඇඟිල්ල දිගු නොකර ත‍්‍රස්තවාදය පැරදවීමට එක්විය යුතුයි- චම්පික

April 23, 2019

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතනට මෙතනට ඇඟිල්ල දිගු නොකර ත‍්‍රස්තවාදය පැරදවීමට එක්විය යුතුයි. දේශපාලන වාසි ගන්නේ නැතිව රටක් ලෙස එකමුතුවෙලා ජනතාවක් ලෙස එකමුතු වෙලා මෙය පරාජය කිරීමට එකමුතු විය යුතුයි. ආගමික බේද , ජාති බේද වලින් තොරව එකාමෙන්ම නැගී සිටිමු යැයි අමාත්‍ය චම්පික රණවක මහතා කීවේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, රටතුළ උද්ගතව ඇතිවී තිබෙන වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම විශේෂ මාධ්‍ය හමුව බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පාස්කු ඉරිදා දිනයේදී කොළඹ, මීගමුව, මඩකලපුව ආදී ප‍්‍රදේශවලත් ආගමික වශයෙන් කිතුණු ආගමිකයන්ට වැදගත් ආගමික ස්ථානවල වගේම ඉහළ ගනයේ සංචාරක ආයතනවල සිදු වූ ඒ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයෙන් මිය පරලොව ගිය සියළු දෙනා සම්බන්ධයෙන් අපගේ බලගතු සංවේගය එම පවුල්වලට පලකරන්න කැමතියි. ඒ වගේම එමගින් තුවාල වූ, අංගවිකලත්වයට පත් වූ 500 කට ආසන්න සියළු දෙනාම සුවපත් වේවා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒ අයගේ පවුල්වල අයත් සමග දුක බෙදා හදා ගැනීමට අපත් මේ අවස්ථාවේදී එකතු වෙනවා. ඒ වගේම මේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී උන්මත්තක ආගමික කි‍්‍රයාදාමය අද අපි තරයේ හෙළා දකිනවා. ඒ බව අපි බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරනවා මේ කි‍්‍රයාදාමය උන්මත්තක ආගමික මතවාද මත කි‍්‍රයාත්මක වූ කි‍්‍රයාදාමයක් ලෙස.

මේ කි‍්‍රයාදාමය සිදු කරන ලද ආකාරය සහ අනෙකුත් දේවල් දෙස බැලූවහම පසුගිය කාලයේ ලෝකයේ විවිධ ස්ථානවල ඉන්දියාවේ, බංගලිදේශයේ වගේම යුරෝපාකරයේ පැරීසියේ, බ‍්‍රසල්ස් නගරයේ, ලංඩනයේ   යනාදි ප‍්‍රදේශවල 2001.09.11 පසුව සිදු වූ තිස්දහසකට ආසන්න මෙවැනි ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රහාරවලට බෙහෙවින්ම සමාන ආකාරයට තමයි මේ සිදුවීමත් සිදුවෙලා තිබෙන්නේ. ඒ වගේම ඒ සිදුවීමේ ඉලක්කය ඒ අන්තර්ජාතික වශයෙන් දැනට සිරියාවේ වේවා, ඇෆ්ගනිස්ථානයේ වේවා, ලිබියාවේ වේවා, වෙනත් ස්ථානවල අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදය සහ අනෙකුත් මෙවැනි ආගමික උන්මත්තක කල්ලි කණ්ඩායම්වල  උවමනාවන්වලට අනුකුලව ඝාතනය දියත් කිරීම. අපි මතක තබා ගත යුතුයි. මේ අයගේ අරමුණ විශේෂයෙන්ම විශාල වශයෙන් ව්‍යසනය, විනාශය කැඳවලා ලෝකය මධ්‍යකාලීන යුගයටත් එහා ම්ලේච්ඡ යුගයකට රැගෙන යාම.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය ප‍්‍රහාර දියත් කළා. සාමාන්‍ය ජනතාව ගම්වලට පැනලා මැරුවා. නගරවල ඝාතන සිදු කළා. ඒ සිදු කළේ තමිල් ඊලාමයක් පිහිටුවීමේ අරමුණින්. ඒ වගේම සමහර වාමාංශික ව්‍යාපාර සමාජවාදී විප්ලවය වෙනුවෙන් කියලා, බෝල්ෂෙවික් රටක් හදන්න කියලා හමුදා කඳවුරුවලට පහරදීම්, බෝම්බ පිපිරවීම් වැනි ත‍්‍රස්තවාදී කි‍්‍රයා සිදු කළා. ඒකට කිසියම් ඉලක්කයක් අරමුණක් තිබුණා. මේ අයිඑස්අයිඑස් ඇතුළු ඉස්ලාමීය ආගමික අන්තවාදයට තිබෙන එකම අරමුණ තමයි ව්‍යසනය. ලෝකයේ ඉතාම හොඳ ඓතිහාසික උරුමයක් තිබූ රටවල්, සිරියාව, ඉරාකය, ඩැමස්කසය, බැග්ඩැඩය වැනි රටවල්  අද අලූ දූවිලි වෙලා, ව්‍යසනයට පත් වෙලා, විනාශයට පත් වෙලා ලක්ෂ ගණන් අනාථයෝ බිහි වෙලා දුක් කරදරවලට මුහුණ දී තිබෙන්නේ. ඒ වගේම දකුණ ආසියාතික රටවල්වන ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලිදේශය, මාලදිවයින ලංකාව වගේ රටවල්වලට අද මේ ව්‍යසනය ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ. ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රටවලත් මේ පිපිරීම් පසුගිය කාලවල්වල වාර්තා උනා. එවැනි සිදුවීම් සිදුවෙමින් තිබෙන්නේ මේ නිසයි. මෙහි එකම අරමුණ ලෝකය මධ්‍යකාලීන යුගයට ඇදගෙන ගොස් ව්‍යසනයක් ඇතිකිරීම මිස කිසිම අනාගත දැක්මක්, අනාගත ව්‍යාපෘතියක් තිබෙන ව්‍යාපාරයක් නෙමෙයි. කවුද මේ පිටුපස සිටින්නේ.

ඇත්තටම මේ පිළිබඳව කිසියම් ආකාරයකට කරුණු සොයා බැලීමක් කළොත් 2018 දෙසැම්බර් මාසේ 26 වෙනිදා මෙයට සම්බන්ධ පළවෙනි සිදුවීම වාර්තා උනා මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කිහිපයක් හානි කර තිබුණා. ඒ වගේම දේවස්ථානවලත් යම් යම් හානි කිරීම් සිදු කළයි කියලා වාර්තා වෙලා තිබුණා. ඒවා ප‍්‍රභලව වාර්තා උනේ නැහැ. නමුත් එතනදි දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාගෙන් පටන් ගත්තහම එම දෙදෙනා පසු පස සංවිධාන ජාලයක් තිබෙන බව පෙනී ගියා. ඊට පසු අවස්ථාවේදී කබීර් හෂීම් ඇමතිවරයාගේ සහයකයෙකුට වෙඩි තැබුවා. ඊට පසුව ඒ අයගේ සිද්ධි දාමය හොයාගෙන ගියහම, පුත්තලම වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයේ පුහුණු කඳවුරක් සහ විශාල පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම් සියල්ල සමග ගැටගැහිච්ච පුද්ගලයෝ තමයි අද මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස ඉන්නේ වෙන අය නෙමෙයි කියන එක දැන් ආරක්‍ෂක අංශ පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා අපි එක් දෙයක් තේරුම් ගත යුතුයි මේ පසුගිය නත්තල් දිනයේ සිට පාස්කු ඉරිදා දක්වා සිදුවූ මේ කි‍්‍රයාදාමය පැහැදිලිව මේ රට ව්‍යසනයට ගෙන යන, මේ රට මධ්‍යකාලීන යුගයට ගෙන යන ම්ලේච්ඡ තිරස්තීන මූලධර්මවාදී, ආගමික උන්මත්තක වාදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදයක අඳුරු සෙවනැලි බව ඉතාම පැහැදිලියි. ඒකට මේ රටේ බහුතර මුස්ලිම් ජනතාවගේ හෝ ඉස්ලාම් ආගම අදහන අයගේ සම්බන්ධයක් නැහැ. නමුත් ඒ අයගේ නාමයෙන් තමයි මේවා දියත් කරමින් තිබෙන්නේ. ඊ ළඟට අපි දැනගත යුතුයි ලෝකයේ විවිධ ආගම් තිබෙනවා, විවිධ දර්ශන තිබෙනවා සමහරු ආගම්වලට විරුද්ධයි. ලෞකිකවාදියෝ ඉන්නවා.  ලෝකය පිළිබඳව, ලෝක දැක්ම පිළිබඳව ඒ ආගම් අතර විවිධ සංවාද තිබෙනවා. අපේ රටෙත් එවැනි සංවාද තිබුණා. බෞද්ධ – කි‍්‍රස්තියානි විවාදයක් පංච මහා විවාදය නමින් තිබුණා. එවැනි සංවාද තැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ සංවාද සාමකාමීව පවත්වාගැනීමට හැකි නම් ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනෙක් ගුණධර්මවලටත් ඉවහල් වෙනවා.

නමුත් මේකේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තමයි ආගමික කර්තෘවරුන් හෝ ඒ ආගම්වලට නින්දා අපහාස උපහාස කිරීම. එතනින් අර සාමකාමී සංවාදය ඇනහිටිනවා. වෛර සහගත ප‍්‍රකාශ නිකුත් කිරීම. විවිධ ආගම්වල කර්තෘවරුන් හෙළාදැකීම වැනි දේවල් ප‍්‍රසිද්ධියේ කිරීම මගින් අර ආගමික නිදහස ආගමිකමය වශයෙන් තිබෙන සංවාදශීලිත්වය බිඳ වැටිලා වෛරය එනවා. ඒක අපි අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. නීතිමය වශයෙන් ඒවට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතුයි. ඒකේ ඊ ළඟ පියවර තමයි මේ. මොකද්ද තමන්ගේ ඇදහිල්ලට ප‍්‍රතිවිරුද්ධ ඇදහිලි දරණ අය සමූහ ඝාතනය. එයට සංවේදීභාවයක් ලබාදීම සඳහා එයට අදාල ආගමික ස්ථානවලම එම ඝාතන සිදු කිරීම. ප‍්‍රභාකරනුත් මේ සෙල්ලම කරගෙන ගියා. ශ‍්‍රී දළඳා මාලිගාවේ, අනුරාධපුරයේ වගේ ශුද්ධ නගරය වගේ තැන්වල ඊට වඩා වෙනස් මෙය. මෙමගින් කෙළින්ම අදහස් වෙන්නේ මේ අනෙකුත් ආගම් අදහන පිරිස් ඝාතනය කරලා අන්තර්ජාතිකව මේ සම්බන්ධයෙන්  තමන් මෙවැනි ඝාතන කළ බව පෙන්වමින් ලෝකයේ තමන්ගේ ත‍්‍රස්තවාදී බියසැක පතුරුවා ගැනීම ඒ නිසා අපි බොහොම පැහැදිලිව මෙම වගකීම දරන්නන් පිළිබඳව මතක තබා ගත යුතුයි.

ඒ වගේම දැන් නොයෙක් දෙනා කතා වෙනවා ඇයි මෙය වලක්වා ගන්න බැරි උනේ. ඇයි මේවා ප‍්‍රමාණාත්මකව විෂ්ලේෂණය නොකර, විමර්ෂණය කරලා මේ අපරාධ සිදුවෙන්න කලින් මාවනැල්ල සිද්ධියෙන් මෙවැනි කණ්ඩායමක් ඉන්න බව ඔප්පු උනාට පසුව මේවා මර්ධනය නොකළේ. ඒ වගේම විශේෂයෙන්ම මේ සිද්ධිය පිළිබඳව යම් අනතුරු ඇඟවීමක් විදේශ බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරුමත කර තිබියදීත් ඒක වලක්වාගන්න බැරි උනේ මොකද කියන ප‍්‍රශ්නය දැන් පැණ නැගී තිබෙනවා. ඇත්තටම ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට මමත් මේ පිළිබඳව විශාල ලැජ්ජාවකට පත්වෙනවා. ඒක මගේ වගකීමක් නොවුණත් මේ රටේ ආරක්ෂාව, ජාතික ආරක්‍ෂාව හා සාමය හා නීතිය පිළිබඳ ආරක්‍ෂාව මගේ අමාත්‍යාංශයේ වගකීමක් නොවුණත්, අපි ලැජ්ජාවකට පත් වෙනවා, මොකද මෙවැනි ආකාරයක තත්වයක් තිබෙන බව පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබියදී මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමට හෝ අදාල අංශ මෙහෙයවීමට නොහැකිවීම ගැන.

ඉතින් අපි හිතනවා දැන්වත් අපේ ආරක්‍ෂක අංශවලට නිසියාකාරයෙන් නායකත්වය දීලා නිසියාකාරයේන ඒ අයට ඒ අයගේ කටයුතු කරන්න ඉඩදීලා මේ  ආගමික පිළිලය සම්පූර්ණයෙන්ම මේ සමාජ දේහයෙන් කපාදාලා සමාකාමී ජනතාවට නැවත නිදහසේ ජීවත්වීමට පුළුවන් තත්වයක් ඇතිකර ගැනීමට ඉඩහසර සලසා දියයුතුයි කියලා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මේක දේශපාලනය කරන්න පාවිච්චි කළ යුතු නැහැ. සමහරු මේක දේශපාලනය කරන්න පාවිච්චි කරනවා. අපි හිටියනම් ඔහොම වෙන්නේ නැහැ, අපිට තිබුණා නම්  ඕවා කෙරෙන්නේ නැහැ ආදි වශයෙන් මේක දේශපාලනය කරනවා. ඒ වගේම මම දන්නේ නැහැ. මට වගකීමක් නැහැ වගේ දෙවල් වලින් අපි දේශපාලනය කළ යුතු නැහැ. අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දේශපාලන නායකත්වයෙන්, ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා සහ සියළුම දේශපාලන පක්ෂවල නායකයෝ මේ මහජනයා වෙනුවෙන් නම් ඉන්නේ, මනුස්සකම වෙනුවෙන් නම් ඉන්නේ මෙවැනි කි‍්‍රයාවලින් දේශපාලන වාසි ගන්නේ නැතුව අපි රටක් හැටියට එකමුතුවෙලා, ජනතාවක් හැටියට එකමුතු වෙලා මෙය පරාජය කිරීමට අපි කටයුතු කළ යුතුයි කියලා. මොකද අපි හැමදාම කලේ මෙවැනි ඝාතන සිදුවන විට විවිධ විවරණ, විවිධ කාරණා සපයලා අපි අන්තවාදියාව අමතක කරනවා. අන්තවාදී උන්මත්තකයාව දේශපාලනික වශයෙන් සාධාරණීය කරණය කරනවා විවිධ තර්ක ගෙනල්ලා. අපි ඒවා කළ යුතු නැහැ. මොකද මේ අයට කිසිම තර්ක බුද්ධියක්, මේ ඝාතකයින්ට කිසිමාකාරයක මානසික වශයෙන් වූ සුවදායක තත්වයක ජීවත්වන අය නෙමෙයි. මේ අය ඝාතනය මගින් තමන් ස්වර්ගයට යනවා කියලා විශ්වාස කරන උමතු රෝගීන් පිරිසක්. ඒ උමතු රෝගීන් පිරිසට අනෙක් අහිංසක සාමකාමී නිරවුල් මනසකින් යුතු මිනිසුන් ඝාතනය කිරීමට ඉඩ දිය යුතු නැහැ.

විශේෂයෙන්ම මේ ඝාතනයත් සමග මේ සමාජයේ කැපී පෙනෙන වෙනසක් මින් ඉදිරියට සිදුවෙනවා. මේ සමාජය තුළ බියසැක දල්වන්න. මේ සමාජය ඉදිරියට යන ගමන, සාමකාමීව ඒ වගේම සංහිඳියාව, සහජීවනය මත තිබූ  සමාජය මෙතනින් බිඳ වැට්ටවීම තමයි ඔවුන්ගේ අරමුණ. එතනින් එහාට ගිහින් මෙරටට පැමිණීමට සිටි සංචාරකයින්ව නවත්වලා, රටේ කීර්තිනාමයට කැළැල් කරන්න. රටට එන ආයෝජන නවත්වලා.  මේ රට ආර්ථික වශයෙන් බිඳ වට්ටවන්න, මේ රට දේශපාලනික වශයෙන් කුලල් කා ගන්න තැන් බවට පත් කරන්න. මේ රට කොටින්ම අර ඇෆ්ගනිස්ථානය ඉරාකය වගේ ආණ්ඩුවක් නැති ඝාතන සංස්කෘතියක් තිබෙන, හැම කෙනාම හැම කෙනාටම තුවක්කු එල්ලකර ගත්ත තත්වයකට පත් කිරීම තමයි මේ ඝාතකයින්ගේ අරමුණ. ඒ අරමුණ අපි පරාජය කළ යුතුයි. ඒ සඳහා අරයට මෙයාට ඇඟිල්ල දික්කරන්නේ නැතිව අපි සියළු දෙනාම එකතු වෙලා මේ පිළිබඳව කටයුතු කළ යුතුයි. අපි මෙය පරාජය කිරීම සඳහා ආරක්‍ෂක අංශවලට සෑම දහිරියක්ම, සෑම ආකාරයකම ශක්තියක්ම ලබාදිය යුතු වෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම දේශීය විදේශීය ජනමාධ්‍යවලින් අපි ඉල්ලා සිටිනවා මේක විශේෂයෙන්ම වෙන වෙන කතා කියලා ලංකාවේ මේ තත්වය ඇතැම් විදේශ ජනමාධ්‍ය පරණ එල්.ටී.ටී.ඊ. ප‍්‍රශ්නයක් බවට පත් කරන්න, ඒ වගේම මේ ඝාතකයින් සිංහල අන්තවාදීන් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අපි බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරනවා බි‍්‍රතාන්‍ය BBC සේවය වගේ ඒවා කි‍්‍රයා කළා. අපි ඒ ගැන කණගාටු වෙනවා. මතක තියා ගන්න බි‍්‍රතාන්‍යයේ ලංඩන් නගරයට පහරදුන් අයමයි මේ කොළඹ නගරයට පහරදීලා තිබෙන්නේ කියන එක ඒ අය මතක තබා ගත යුතුයි. ඒ නිසා මේක ලෝක ව්‍යාප්ත අන්තවාදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්.    මේ සම්බන්ධයෙන් අපි සියළු දෙනා නැගී සිටිය යුතු මොහොතක අතන මෙතන විවේචන ඉදිරිපත් කර අන්තවාදීන් සාධාරණීය කරලා අපි කටයුතු කළයුතු නැහැ.

ඒ වගේම අපේ රටේ සියලූම ජනතාව ආගමික බේදවලින් තොරව, ජාතික බේදවලින් තොරව නැගී සිටිය යුතුයි. මෙහි අරමුණ අපේ රටතුළ නැවත වතාවක් ආගමික උමතුබාවයන් ඇතිකර ඒ මගින් අවුල් වියවුල් ඇතිකරන්න කටයුතු කිරීම. තිරස්ථීන ත‍්‍රස්තවාදයක් පරාජය කරන්න පුළුවන් වෙන්නේ අපි තිරිසනුන් වීමෙන් නෙමෙයි අපි සාමූහිකව එකමුතු වීමෙන්. විශේෂයෙන්ම අපේ නායක ස්වාමීපාදයන් වහන්සේ ප‍්‍රකාශ කළ පරිදි මුස්ලිම් ජනතාවට සුවිශේෂී වගකීමක් තිබෙනවා. තමන් අතර ඉඳගෙන තමන්ගේ ආගමේ නාමයෙන් තමන්ගේ ජනතාවත් විනාශ කරන, අනාගතයේ විනාශ කරන්නට යන, දූ දරුවන් අනාථභාවයට පත් කරන්නට යන මේ අඳුරු බලවේග හෙළිදරව් කරලා ඔවුන් පිළිබඳ තොරතුරු ආරක්‍ෂක අංශවලට ලබාදීලා අපි නැවතත් කලින් තිබූ සහජීවනය, සාමය දිනාගැනීමට කටයුතු කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේහම සියළුම ජන කණ්ඩායම්වලින්, විශේෂයෙන්ම කතෝලික කිතුණු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙම සිද්ධින්වලින් ප‍්‍රකෝපයට පත් නොවී අපි අධිෂ්ඨානසහගත වෙමු. ඒ වගේම අපේ බෞද්ධ, හින්දු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ සිද්ධින් වලින් අපි කැළඹීමට පත් නොවී, නොයෙක් කට කතාවලට හසු නොවී අපි එකමුතුව මෙයට මුහුණ දෙමු.

මෙය පරාජය කළ හැකි එකම ආයතනය අපේ ආරක්‍ෂක අංශ පමණයි. අපේ බුද්ධි අංශ, අපේ ආරක්‍ෂක අංශ පමණයි. මේ තිස් අවුරුද්දක් තිස්සේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සමග ඉතාම බලගතු ආකාරයේ ත‍්‍රස්තවාදයක් පරාජය  කිරීම සඳහා කටයුතු කලා. ඒක එපමණ පමා උනේ අප අතර තිබූ බෙදීම් නිසයි පරාජය කිරීමට අවුරුදු තිහක් ගියේ එපමණ ජීවිත වන්දියක් ගෙව්වේ. ඒක නිසා මේක පරාජය කිරීමට හැකි මෙහි අක්මුල් සොයලා දේශීය විදේශීය මූලයන් සොයලා මෙය පරාජය කිරීමට හැකි එකම ආයතනය අපේ ආරක්‍ෂක අංශ පමණයි. අප සියළු දෙනාම අත්වැල් බැඳගෙන ඒ තොරතුරු ලබාදීම මගින්, අපේ ආරක්ෂක විධිවිධාන තර කිරීම මගින්, ඒ වගේම ඒ ආරක්‍ෂක විධි විධානවලට යටත් වෙලා කැපකිරීම් කිරීම මගින් අපේ  ආරක්ෂක අංශවලට අපේ සහයෝගය ලබාදිය යුතුයි. ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, විපක්ෂ නායකත් අතනට මෙතනට ඇඟිල්ල දිගු නොකර මේ ති‍්‍රත්වයම එකට එකමුතු වෙලා මෙම ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි මොකද මේ තුවක්කුවල, මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඊ ළඟ ඉලක්ක බවට පත්වෙන්නේ, මේ දේශපාලන නායකයෝ වෙන්න පුළුවන්, ආගමික නායකයෝ වෙන්න පුළුවන් ඒ වගේම තවදුරටත් අසරණ සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන්. ඒ නිසා අපි වහාම සාමය නැවත දිනා ගැනීම සඳහා මේ ත‍්‍රස්තවාදය ඉතා කෙටි කලකින් පරාජය කිරීමට අධිෂ්ඨානශීලිව කටයුතු කල යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. ඒ සඳහා දේශපාලන ජාතික ආගමික බේදවලින් තොරව අපි සියළු දෙනාම කටයුතු කළ යුතුයි අපේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ලැහැස්තියි අපේ අනන්‍යතා සහ අනෙකුත් දේවල් කැපකිරීම් කරලා මේ උමතු ආගමික අන්තවාදය පරාජය කරන්න, මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයෙන්ම අතුගා දැමීම සඳහා අවශ්‍ය කරන ඒ  ඕනෑම ආකාරයක කටයුත්තකට අපේ කැපවීම අපේ සහයෝගය අපි මේ අවස්තාවේදී පළකරනවා යැයි පැවසීය.

 

t

o

p