ජනඝාතක සංහාරය විසින් හෙළිකරන්නේ ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව නොව ප්‍රභූන්ගේ ආරක්ෂාව බවයි- පුබුදු ජයගොඩ

April 23, 2019

ලංකාවේ ස්ථාන කිහිපයක ඇති වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාලකයන් විසින් කටයුතු කරඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොව පාලක ප්‍රභූ පැළැන්තියේ ආරක්ෂාව වෙනුවෙන් බවට කරුණු අනාවරණය වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ ස්ථාන 8කදී ඇතිවූ ප්‍රහාර නිසා මියගිය අයවලුන් හා තුවාලලැබුවන් සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් මේ ව්‍යසනකාරී අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කිරීම සදහා ජනතාව ආමන්ත්‍රණය කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(22) පැවැත්වූ මධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මේ බව අවධාරනය කළේය.

එහිදී ඔහු මෙසේද කීය.

“ඊයේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් මරනයට පත් වූ සහ තුවලා ලැබූ සියලු දෙනාටම අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ප්‍රහාර සිදුකළවුන්ගේ අරමුණු සාර්ථක කරන්නට ඉඩක් නොතබමින් ඊයේ එම සිදුවීම්වලට තවත් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර නොදක්වමින් ඉවසීමෙන් කටයුතු කළ ලංකාවේ සිංහල, තමිල්, මුස්ලිම් ඇතුළු සියලු ජනතාවට අපගේ හිස නමා ආචාර කරනවා.

මොකද යුරෝපා රටවල මෙවැනි ප්‍රහාර සිදුකළ අන්තවාදී සංවිධාන විසින් තමන්ගේ සංවිධාන වෙත තවදුරටත් සාමාජිකයන් බදවාගන්න, ජනතා ආකර්ෂණය ලබාගන්න හා බහුජන සංවිධාන හැඩයක් ඇතිකරගන්න කටයුතු කලේ එම සිදුවීම් වලට ප්‍රතිචාර ලෙස යුරෝපයේ සුලුජාතික ප්‍රජාවන්ට එරෙහිව ඇතැම් තවත් අන්තවාදි බලවේග විසින් ගෙන ගිය ප්‍රති-ප්‍රචණ්ඩත්වය හරහා. ලංකාවෙදි ඊයේ වගේම අද දක්වා එවැනි ප්‍රතිචාර, හැගීම්බර කටයුතු වෙනුවට ජනතාව විසින් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ බව අපි දැක්කා. විශේෂයෙන් ලේ බැංකුව ලේ අවශ්‍ය බවට කෙටි දැනුම්දීමකින් සියලු ජාතික හා ආගමික අනන්‍යතාවලට අයත් ජනයා ලේ බැංකුවේ පෝලිම් ගැසී තිබුණේ ඒ විපතට පත් ජනතාව කුමන ජාතියට ආගමකට අයත් වුවත් ඔවුන්ට අවශ්‍ය මානුෂික ආධාර කළ යුතුයි කියන අදහසින්. අන්න ඒ මනුෂ්‍යත්වයට අපි හිස නමා ආචාර කරනවා. ඒ වගේම මේ ප්‍රහාර එල්ල කළ අයගේ අරමුනු පරාජය කිරීමට තවදුරටත් ඒ ඉවසීම, විචාරශීලිත්වය හා පෙනවනු ලැබු මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්නා ලෙස අපි සියලු ජනයාගේ බලවත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඒ අතරම මෙවැනි සිදුවීමක් ඇතිවුණාම ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට හෝ ඇවිලෙන රැවුලෙන් සුරුට්ටු පත්තුකරන්න තැත්කරන බලවේග පරාජය කරන්න අප කටයුතු කරන්න ඕන. මොකද 1983 කලු ජූලිය සිදුවීමෙන් පසුව ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබුණු එල්ටීටීඊය වැනි සංවිධානවලට දෙමළ ජනතාවගේ අවධානය හා අනුග්‍රහය ලැබෙන්න පටන්ගත්තා. ඒ නිසා මෙවැනි අන්තවාදී ප්‍රහාර නිසා සමස්ත මුස්ලිම් ජනතාවම ලක්ෂ ගණනක් ජනයා තෑගි ඔප්පුවකින් අන්තවාදයට ලියා දෙන්න කටයුතු නොකර සමාජවගකීමකින් කටයුතු කරන්න සියලුදෙනා කටයුතු කළයුතු බව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ආයාචනා කරනවා, අවධාරනය කරනවා. සමානාය මුස්ලිම් ජනතාව සෙසු ජාතික ප්‍රජාවන් මෙන්ම සාමය, සහයෝගිතාව අගය කරන සමගියෙන් ජීවත්වීමට ප්‍රිය කරන ප්‍රජාවක් බව අපි දන්නවා. විශේෂයෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙන තරමට මරාගෙන මැරෙන්න තරම් වෛර සහගත ප්‍රතිවිරෝධයක් ඒ ප්‍රජාවන් අතර කිසිදු වස්ථාවක තිබුණෙ නැති තත්වයකදී මේ ප්‍රහාරය කුමන්ත්‍රණකාරි අරමුණු ඉටුකරගන්න දරපු කෘර උත්සාහයක් ලෙස අපි හෙලා දකිනවා.

මෙවැනි සිදුවීම් හරහා ඊට ප්‍රතිචාර ලෙස නැවත ප්‍රචණ්ඩ පළිගැනීම් ඇති කිරීමත් ඒ පළිගැනීම් හරහා නැවත ප්‍රචණ්ඩ අන්තවාදයට සුලුතර ප්‍රජාවන් අතර වලංගුතාවක් ඇතිකරගැනීමත යන විෂම චක්‍රය බිද දැමීමට කටයුතු කළ යුතුයි. ඒ වලේම අපි මේ වනවිට මෙවැනි ප්‍රහාර හරහා අත්දකින කාරණය තමයි රටක් ලෙස ගෝලීය බලපොරයට මේ පුංචි දිවයින ඇතුලු කරලා තිබෙන්නෙ. අපේ රටේ පාලක පන්තිය විසින් මේවනවිට ලෝකයේ බලවතුන් විසින් කලපීය බල අරමුණු සදහා ගෙන යන බලපොරයේ ක්‍රියාකාරිත්වයට රටම ඇතුළු කර තිබෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් චීනයේ අරමුණු වෙනුවෙන් මේ රටේ මර්මස්ථාන භාවිත කිරීමේ අවස්ථා ලබා දාමින් සිටියා. ඉන්පසුව වත්මන් පාලකයන් විසින් එය වැඩිදුරටත් තීව්‍ර කරමින් වරාය නගරයේ කටයුතු ඉදිරියට ගෙනයාම සහ හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් එම තත්වය වඩා ශක්තිමත් කළා. ඒ වගේම පසුගිය සතිදෙකක කාලය තුළ හම්බන්තොට වරාය එක්සත් ජනපද යුද අභ්‍යාස සදහා භාවත කිරීමට සහ ඒ වගේම කටුනායක ගුවන්තොටුපළ හා ත්‍රිකුණාමල වරාය අමෙරිකානු හමුදාවල සැපයුම් අවශ්‍යතා සදහා භාවිත කිරීමට විවෘතකර දුන්නා. ඒ සදහා මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අත්සන් කළ ACSA ගිවිසුම වත්මන් පාලකයන් විසින් දීර්ඝ කරනු ලැබුවා. මේ නිසා කලාපයේ බල අරමුනු වෙනුවෙන් කරන බලවතුන්ගේ බලපොරයට ලංකාව ඇතුළු කිරීමේදී වත්මන් පාලකයන් මෙන්ම හිටපු පාලකයන් වගකිවයුතු කාර්යයන් ඉටු කර තිබෙනවා.

ඒ නිසාම මෙවැනි අන්තවාදි සංවිධානවල ක්‍රියාකාරිත්වය හරහා ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන හා ආරක්ෂක කටයුතුවලට මැදිහත්වීමට බලවතුන්ටත් ඇතැම් ගෝලීය අන්තවාදි බලවේගවලටත් අවස්ථා විවරකර තිබෙනවා. කාලයක් අපි හිතාගෙන හිටියා ලංකාව දූපතක් නිසා ලෝකයේ බලපෑම් අවමයි කියලා. නමුත් මෙවැනි ප්‍රහාර හරහා අපට පෙන්වා දෙනු ලබන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවමින් මේ රටේ ජනතාව එකිනෙකා මරාගන්න තත්වයකට ඇද දාන්න ලෝක පරිමාණ සැලසුම් ක්‍රියාත්මක වන බවයි. කලාපීය බලය වෙනුවෙන් බලවත් රාජ්‍යයන්ට මේ රටේ තවත් ලේ වැගිරෙන යුද්ධයක් ඇති කරන එක එතරම් දුෂ්කර දෙයක් නෙවෙයි. දශක ගණනාවක යුද ගැටුමකින් පසුව අප රටක් වශයෙන් යුද්ධයේ අමිහිරිකම් පිළිබද වටහා ගෙන ඉවසීමෙන් සහ සංහිදියාවේ අගය සම්බන්ධ අවබෝධයකින් කාලය ගතකළත් මෙවැනි ප්‍රකෝපකාරි සිදුවීම් තව එන්න පුලුවන්.

පසුගිය සෙනසුරාදා දක්වා අපට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදුකරන ප්‍රතිත්‍රස්ත පනත(CTA) ගැන. සෙනසුරාදා දක්වා වැඩකරන ජනතාව කතාකරමින් හිටියේ ආර්ථික අමාරුකම් ගැන, වැටුප් වැඩිකිරීම ගැන. ඒ වගේම සෙනසුරාදා වෙනකම්ම අපිට තිබුණේ පෞද්ගලික සේවක අයිතිවාසිකම් කප්පාදුකිරීමට සූදානම්වන ආණ්ඩුවේ අලුත් පනත් සංශෝධන ගැන, ඒ වගේම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථා ලබාදෙන නව අධ්‍යාපන නියාමන කොමිෂන් සභා පනත ගැන, ඒ වගේම මහරගම අපේක්ෂා රෝහලේ රෝගින්ට අවශ්‍ය ලිනිය ඇක්සලරේටරයක් මිලදී ගැනීමට ජනතාවගේ එක් එක් සාමාජිකයන් රු.50ක් ලබාදීමේ ප්‍රශ්නය ගැන.

මේ සියල්ල මත ඉරිදා දවසේ එල්ල වූ මේ ප්‍රහාර මාලාවෙන් පසුව අපට දැන් බස් රථයක, කෝචිචියක යන්න බැරි මරණ භයක් එකතු වෙලා තියෙනවා. ඒ මරණ භය සහිත අලුත් තත්වය නිසා සෙනසුරාදා දක්වා අපට තිබුණු ප්‍රශ්න අමතක කරදමන්නත් බෑ. ඒ ප්‍රශ්න සියල්ල මැදට මේ අලුත් ප්‍රශ්නය මරණ බය එකතු වෙලා තිබෙනවා.

ඒ අතරම මේ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ බලධාරින්ව දැනුවත් කර තිබුණු බවත් මේ සම්බන්ධව පියවර ගැනීමේ දුබලතාවක් ඇති බවටත් චෝදනා නැගී තිබෙනවා. මේවනවිට සමාජ ජාලවල මේ ප්‍රහාර සම්බන්ධ වේලාසන පොලිසිය විසින් අනතුරු අගවමින් යැවු ලිපියක් සංසරණය වෙමින් තිබෙනවා. ඒ ලිපිය සත්‍ය එකක් බවට පොලිසිය ඊයේ වෙනතුරු පිළි අරගෙන නෑ. අගමැතිවරයා ඊයේ රාත්‍රිෙය් නිල ප්‍රකාශයක් කරමින් මේ සම්බන්ධ කටයුතු කිරීමේ දුර්වලාතවක් ඇති බව පිළිඅරගෙන තිබෙනවා. ඒ වගේම හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කියන ආකාරයට ඉරිදා පාස්කු දේවමෙහෙයට ප්‍රහාර එල්ලවීමට නියමිත බවත් ඒ නිසා පාස්කු දේවමෙහෙයට නොයා සිටින ලෙස ඔහුගේ පියා විසින් අනතුරු ඇගවූ බවත් කියා සිටියා. ඔහු මාධ්‍ය හමුවකදී සිනාමුසු මුහුණින් කියා සිටියෙ පෞද්ගලික රෝහලක සිටි තමන්ගේ පියා පවා මේ ප්‍රහාර ගැන දැනගෙන හිටියා කියලා. ඒ ප්‍රහාර සම්බන්ධ කල්තියා දැනුවත්ව සිටි නිසා මේ රටේ ප්‍රභූන් ඉරිදා පාස්කු දේවමෙහෙයන්ට සහභාගි නොවුණු බව අපි දැන් දන්නවා. එහෙම නම් මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියාල අපිට දැන් අවබෝධයක් ලැබෙනවා. පොලිසිය කියන්නෙත් ප්‍රහාරයක් එල්ල වන්නට නියමිත නිසා ප්‍රභූ ආරක්ෂාව ගැන බලන්න කියලා. මනෝ ගනේෂන් ඇමතිවරයා ප්‍රකාශ කරලා තිබුණා සතියකට කලන් තමන්ගේ ආරක්ෂකයන් මෙවැනි ප්‍රහාරයක අවදානම ගැන දැනුවත්කළා කියලා. ඒ නිසා මේ සිදුවීම් පිළිබද පාලකයන් දැනගෙන හිටිය බවත් ජනතාවගේ ආරක්ෂාව පිළිබද පියවරක් ගන්න හෝ මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් වේලාසන ජනතාව දැන්වත් කිරීමට හා ජනතාව විමසිලිමත්ව තබන්න පාලකයන් හෝ ජාතික ආරක්ෂාව සදහා කියන කිසිදු ආයතනයක කටයුතු කර නෑ. අපේ බදු මුදලින් ජාතික ආරක්ෂාව සදහා යයි කියමින් බිලියන ගණන් මුදල් වැය කරන්නෙ ඇතැතටම මේ වැනි සිදුවීමකදි ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි, ප්‍රභූන්, පාලක පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. මේ ප්‍රහාරවලදි ජනතාව සිය ගණනින් මරණයට පත්වුණා, සිය ගණනින් තුවාල ලැබුවා, සදාකාලික ආබාධිත තතවයට පත් වුණා. විවිධ ආගමික ස්ථාන, හෝටල් ප්‍රහාරයෙන් ආපදාවට පත වුනා. නමුත් පාලකයන්ට හානියක් වුණේ නැත්තෙ ඔවුන් වේලාසනින් මේ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා. ඒ නිසා දැන් විපක්ෂයේ ඇතැම් අය කියනවා මේ සිදුවීම් තමන්ගෙ පාලන කාලයේ සිදු නොවුණ බව. අපි කියනවා, ඔවුන් කියන කාලයෙත් ජාතික ආරක්ෂාව තුළින් ආරක්ෂා කළේ පාලක ප්‍රභූන් පමණයි. හැමදාම ප්‍රහාරවලට ඉලක්ක වෙලා මෙවැනි අසරණ තත්වයට ඇද වැටණේ සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා ජාතික ආරක්ෂාවට මේ අවුරුද්දෙ අයවැයෙනුත් රුපියල් බිලියන 393ක්, බදුආදායමින් දළ වශයෙන් හතරෙන් එකක් වැය කරන්න හදන්නෙ ආරක්ෂක වියදම ලෙසයි. ඒ වැඩිම මුදල වියදම් කරන්නෙ ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි, පාලකයන් ආරක්ෂා කරන්න බව දැන් පැහැදිලියි. දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරන බව දැනගෙන හිටියා නම් ඇයි ඒවා ආරක්ෂා කරන්න, දේවමෙහෙයට එන සාමාන්‍ය ජනයා ආරක්ෂා කරන්න පියවර ගත්තෙ නැත්තෙ? ඒ නිසා අපට හොදටම පැහැදිලියි මේ රටේ පාලකයන් ආරක්ෂාව කියන්නෙ පාලක ප්‍රභූ පන්තියේ ආරක්ෂාව පමණයි. මෙවැනි ප්‍රහාර හරහා එකිනෙදා ජාති ආගම් ඇතුළු කණ්ඩායම්වලට බෙදිලා වැඩක් නැති බව අපි කියන්නෙ ඒ නිසා. අප සාමාන්‍ය ජනතාවට පාලකයන්ගෙන්වත් අන්තවාදී උමතුවෙන් පෙළනෙ අයගෙන්වත් රැකවරණයක් නෑ. ඒ නිසා මිලියන ගණනක් ජනතාව අනතුරට ඇද දමන අන්තවාදය ලංකාවෙදි පමණක් නොවේ ලෝක පරිමාණ ගැටලුවක්, ව්‍යසනයක්ව තිබෙනවා. ඒ ලෝක පරිමාණ ව්‍යසනයට ලෝක පරිමාණයෙන් සියලු පීඩි. ජනතාව ඒකරාශී වී විසදුම් සෙවිය යුතු වෙනවා.

ප්‍රහාර සිදුවීමත් සමග අරයා හිටියා නම් මේක වෙන්නෙ නෑ. මේ අය බලයට ඇවිත් මේ ප්‍රශ්න විසදනවා කියන රැවටිල්ලට හසු වෙන්න එපා, මොකද මේ අන්තවාදයන්ට මාර්ගයවිවර කළේ ලෝක පරිමාණ බලපොරයකට මේ රට ඇදලා දැමුවේ මේ සියලු ආකාරයෙන් අපව පෙළන පාලකයන් විසින්. ඔවුන්ට මේ ඇවිලෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්න අවස්ථාව නොදී ජනතාව ඉවසීමෙන්, බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අපි ආයාචනා කරනවා. දීර්ඝකාලීනව ලෝක පරිමාණ අන්තවාදය පරාජය කිරීමට මේ මොහොතේ වාමාංශිකයන් ලෙස අපි සක්‍රියව මැදිහත් වෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි පක්ෂයේ සියලු සංවිධාන, කම්කරු බලවේගය, ගොවි බලවේගය, ශිෂ්‍ය ව්‍යාපාරය, සම අයිතිය ව්‍යාපාරය වැනි සංවිධාන හරහා ජනතාව අතර කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි තත්වයන්ගෙන් පටු වාසි ලබාගන්නා දේශපාලනය වෙනුවට ජනතාව අතර විමසිලිමත්භාවය, දේශපාලන අවබෝධය පුලුල් කරමින් අයිතිවාසිකම් දිනාගැනීමේ සිට පාලකයන්ගේ උගුල්වලට හසු නොවී සිටීමේ දේශපාලනය දක්වා මැදිහත්වීමට අපි කටයුතු කරනවා. අපගේ අවසන් ඉල්ලීමත් මේ අවස්ථාවේ ජනතාව විසින් පෙන්වා ඇති මනුෂ්‍යත්වය හා ඉවසිලිමත්භාවය ආරක්ෂා කරමින් තවදුරටත් මේ සමාජය ගිනතැබීමට හෝ ඇවිලෙන ගින්නෙන් වාසිලැබීමට කිසිදු බලවේගයකට අවස්ථාව නොදී කටයුතු කරන්න.“

මෙ මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ දේශපාලන මණ්ඩල සභික සුජිත් කුරුවිට යන සහෝදරවරුද සහභාගි වූහ.

t

o

p