වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 99.226 ක් පීඩාවට

April 9, 2019

දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 14කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 99,226කට අයත් පුද්ගලයින් 4,07,672 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ඌව පළාතට හැර දිවයිනේ සෙසු සියලූ පළාත්වලට මෙහි බලපෑම එල්ල වී තිබේ.

කෑගල්ල, අම්පාර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, මාතලේ, මහනුවර, මාතර, ගම්පහ, කළුතර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 59ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මින් වැඩිම පීඩාවක් එල්ල වී ඇත්තේ බස්නාහිර සහ උතුරු පළාත්වලට වන අතර බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 46,584කට අයත් 2,21,659 දෙනෙක් සහ උතුරු පළාතේ වව්නියාව, යාපනය සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල පවුල් 24,207කට අයත් 84,656 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ඔහු පැවසීය.

විශේෂයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කළු ගඟෙහි ජල මට්ටම පහළයාමත් සමඟ එයට ලවණ මිශ‍්‍රවීම හේතුවෙන් බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මීට අමතරව වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයන්හි පවුල් 11,272කට අයත් 39,432ක්, මධ්‍යම පළාතේ මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවල පවුල් 9,160කට අයත් 33,081 දෙනෙක්, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 3,797කට අයත් 13,557 දෙනෙක්, උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 2,028කට අයත් 7,367 දෙනෙක්, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 1523කට අයත් 5,523 දෙනෙක් සහ දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ පවුල් 647කට අයත් 3,397දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

පීඩාවට පත් ජනතාවට පිරිසිඳු පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් හා ජල ටැංකි යොදවා ඇති අතර දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ද නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

t

o

p