ඩුබායිවලින් පිටුවහල් කල නදීමල් හා බන්ධනාගාර නිලධාරියා මෙරට දී CID බාරයට

March 27, 2019

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියා ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට නමගිය අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ පිරිසක් ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්‍රෙද්ශයේ තරු පන්තියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට පත්වුණි.

ඒ කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ පානය කිරීම යන චෝදනාවට අදාළවයි.

මාකඳුරේ මධූෂ් සමඟ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අයද අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් එරට පොලිස් භාරයේ තබාගෙන විමර්ශන ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් දින 50 කට ආසන්න කාලයක් ඩුබායි අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව එරටදී අත්අඩංගුවට පත්වූවන් අතර සිටි තරුණ ගායක නදීමාල් පෙරේරා සහ මෙරට බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස කටයුතු කළ ලලිත් කුමාර නැමැත්තා ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කිරීමට එම රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද පෙරවරු 6.15 ට පමණ fly dubai ගුවන් සේවයට අයත් FZ 547 ගුවන් යානයෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා දිවයිනට පැමිණ තිබුණි.

පොලිසීය සඳහන් කළේ මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බවයි.

ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට පත්වූවන්ගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේදී නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගුව නොමැති බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙක් වන අතර ඔහු අසනීප නිවාඩු ලබා කලක සිට සේවයට වාර්තා නොකළ පුද්ගලයෙක් බව බන්ධනාගාර ආරංචි මාර්ග අණාවරණ කළේය.

t

o

p