විදුලි අර්බුදය උග්‍ර වෙයි ඉදිරි මාස දෙකටත් විදුලි පහන් නිවන යෝජනාවක්

March 27, 2019

විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් එම යෝජනාවට ඇතුළත් වෙයි.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2600ක් වුවත්, පවතින වියළි කාලගුණයත් සමඟ සැපයිය හැකි උපරිම ධාරිතාව වී ඇත්තේ මෙ.වොට් 2260ක් පමණයි.

මේ හේතුවෙන් විදුලි අවශ්‍යතාවයෙන් මෙගා වොට් 340ක හිඟයක් දෛනිකව පවතියි.

ඒ අනූව එම හිඟය මඟ හරවා ගැනීම සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශවලට වරින් වර පැය 4ක පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදු කෙරෙන අතර දැනට පවතින විදුලි හිඟයට මුහුණ දීමේ අරමුණින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාවට අනුව ඉදිරි මාස 3ක කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් 2ක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදුකරන වේලාවට පැයකට පෙර සියලුම විදුලි පහන් නිවීම යන ක්‍රියාමාර්ග වලට එළැඹීමට නියමිතයි.

කෙසේ වෙතත් අප්‍රේල් මාසය අවසන් වන විට දිවයිනට වර්ෂාව නොලැබුණහොත් පවතින විදුලි අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය පෙන්වා දෙයි.

මීට අමතරව විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර ඇත.

ඇමැතිවරුන් සිව් දෙනෙක් ගෙන් සමන්විත එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායකයී. කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් වේ.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බැස තිබේ.

ඊට පිළියමක් ලෙස ක්‍රියාත්මක කෙරුණු කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතියද ඊයේ තාවකාලිකව නතර කිරිමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත අහසේ වළාකුළු නොමැති විම හේතුවෙනි.

t

o

p