මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමති රවි

March 6, 2019

අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ පක්ෂය අනිත් අයවගේ කරන්න බැරි දේවල් කියලා, විපක්ෂයට බැන බැන ඉන්නේ නැහැ. අපේ අඩුපාඩු තියෙනවානම්, ඒ ගැන පක්ෂය ඇතුලෙ කතා කරලා අපි විසදගන්නවා. අපිට අවශ්‍ය ජනතාවට අදට වඩා හොද හෙට දවසක් උදා කරන්නයි. මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් කියලා මම කියනවා” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස පළකලේ, අද (06) පෙරවරුවේ කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී  අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වන විදුලිය අවම මිලකට නිෂ්පාදනය කරලා, අවම මිලක් යටතේ පාරිභෝගිකයාට ලබාදීලා, සෙතක් සලසන්නයි අපි අවධානය යොමු කරන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අනපේක්ෂිත නිෂ්පාදන බිදවැටීම් වලදී, හදිසි විදුලිය මිලදීගැනීම් සිදුකර, ඒ සදහා විශාල බිල් ගෙවීමයි.  මෙහිදී අහිංසක පාරිභෝගියන් ගැන හිතන්න වෙන්නේ නැහැ. පාරිභෝගිකයා ගැන හිතලා, නිෂ්පාදකයාට  අභියෝගය යොමුකරලා, ඒ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ක්‍රියා පිළිවෙළකටයි අපි යොමුවෙලා ඉන්නේ. මොනතරම් අභියෝග ආවත් අපි බය නැතිව ඒ  කටයුතු කරනවා.

අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් අමාත්‍යවරයා,

“සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින්  මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන්  උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොදයි.ඒ පිළිබදව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගතයුතුයි.

ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ වනවිට එකට වැඩකරගෙන යනවා. කොහේ හෝ මෙහි දුරස්ථ බාවයක් ඇති වෙලා තිබෙනවා. අන්න ඒ දුරස්බව නැති කරගෙන , නිවැරදි ඉදිරි ගමනක් යන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා” යැයි පැවසීය.

මෙම  නිරීක්ෂණ චාරිකාව සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද සහභාගි විය.

t

o

p