ලෝක ආර්ථිකය සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයක් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පාසල්වල සුහුරු පන්ති කාමර ඇතිකරමින් ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙන බව ඊයේ (28) දින ගම්පහදී පැවසීය.
දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවත් රටේ සෙසු පාසල්වලද සුහුරු පන්ති කාමර ආරම්භ කර අපේ දරුවන්ට නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට හැකි මංපෙත් විවෘත කර දෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (28) ගම්පහ ගනේමුල්ල හේමමාලි මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨය, තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
හේමමාලි විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සමඟ සුහදව කතාබහක නියැලීමෙන් අනතුරුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණ එහි විවෘත කිරීම්වලින් පසු ප්‍රධාන රැස්වීම් ශාලාව වෙත කැඳවාගෙන එන ලදී.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පැවති එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
අද හේමමාලි විද්‍යාලයේත්, ගලහිටියාව විද්‍යාලයේත් නව ගොඩනැගිලි විවෘත කළා. මේ වැඩකටයුතු අප සිදු කළේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේයි. එම වැඩසටහන යටතේ අපි පාසල් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදිකර දී තිබෙනවා. හෙට අපේ මැති ඇමතිවරු එකම වේලාවක පාසල් ගොඩනැගිලි 200ක් විවෘත කිරීමට සූදානම්.
විද්‍යාල දෙකේම තූර්යවාදක සහ සරඹ කණ්ඩායම්වලටත්, ගායනා සහ නර්තන කණ්ඩායම් වලටත් මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ දක්ෂතාවය මේ ස්ථානයේදී මම හොදින් දුටුවා.
මම ගලහිටියාවට මීට පෙර පැමිණියේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසයි. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය නිදහස් අධ්‍යාපනය යටතේ ආරම්භ වූ විද්‍යාලයක්. මම එදා නියෝජනය කළ බියගම කොට්ඨාශයේ සපුගස්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හේනේගම මධ්‍ය මහා විද්‍යාලය වගේම මීරිගම, වේයන්ගොඩ, තෝලංගමුව ආදී මධ්‍ය මහා විද්‍යාල ගණනාවක් නිදහස් අධ්‍යාපනය යටතේ ආරම්භ වුණා. එම විද්‍යාල ආරක්ෂා කරමින් තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම අපේ යුතුකමක් බව පැවසිය යුතුයි.
අපි 1977 දී මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඉන් පසුව දැනුම සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවය ඇතිවුණා. ඒ අනුව පාසල් අධ්‍යාපනය ලබන ප්‍රමාණය වැඩි කිරීමට පාසල් පහසුකම් වැඩි කිරීමට සිදු වුණා. ඒ යටතේ සෑම පාසලකටම එක් ගොඩනැගිල්ලක් හෝ ලබාදීමට අප කටයුතු කළා. විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කළා. ක්‍රීඩා පහසුකම් ක්‍රීඩාංගන ආදිය ලබාදෙමින් ජාතික ක්‍රීඩා වැඩසටහන ආරම්භ කළා. විද්‍යාපීඨ ආරම්භ කරමින් ගුරු හිඟයට පිළියම් ලබාදුන්නා.
රූපවාහිනිය, පෞද්ගලික පරිගණක ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ කාලයේයි. ඒ අවදියේ ශ්‍රී ලංකාවේ පාසල්වලට පරිගණක ලබාදීමට අප කටයුතු කළා. ඩිජිටල් ආර්ථිකයක් අනාගතයේදී ඇතිවනු ඇතැයි එදා කවුරුවත් සිතුවේ නැහැ. පරිගණකය භාවිතා කළේ තම අවශ්‍යතා සඳහා පමණයි. ඩිජිටල්කරණය ආරම්භවීමත් සමඟ ලංකාව ලෝකයට එකතු කරමින් මම 1993 දී එවකට අමෙරිකානු උප ජනාධිපති සමඟ අන්තර්ජාල ගිවිසුම අත්සන් කළා. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන ආකාරයේ ඩිජිටල් ආර්ථිකයක් ඇතිවනු ඇතැයි එදා මම පමණක් නොවෙයි. ඇමෙරිකානු උප ජනාධිපතිවරයාවත් සිතුවේ නැහැ.
අද ඩිජිටල් අර්ථිකයක් ඇති කිරීමට, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට, ඒ වෙනුවෙන් සුහුරු පන්ති කාමර, ටැබ් පරිගණක ලබාදීමට අපි ක්‍රියාකරමින් සිටිනවා. ඩිජිටල් තාක්ෂණය ලෝකය මෙතරම් වෙනස් කරනු ඇතැයි එදා කවුරුවත් සිතුවේ නැහැ. ඒවගේම අද ජංගම දුරකථනයත් විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. පරිගණක අන්තර්ජාල සබඳතා සහ ජංගම දුරකථන හරහා ලෝකය විශාල වශයෙන් වෙනස් වී තිබෙනවා. 2010 වනවිට ලෝකයේ ඩිජිටල් ආර්ථිකයක් ඇතිවුණා. එය සෑම අංශයකටම බලපෑවා.
කර්මාන්ත නිෂ්පාදනය, සේවා අංශය ආදියට ඩිජිටල් ආර්ථිකය හරහා විශාල වෙනස්කම් සිදුවුණා. අද ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තම තොරතුරු යවමින් සිංගප්පුරුවේ හෝ ලන්ඩන් නුවර සිටින වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි මට්ටමට ලෝකය ඩිජිටල්කරණය වී තිබෙනවා. තම නීතිමය ලියවිලි පවා මේ හරහා හුවමාරු කර ගැනීමට තරම් ලෝකය ඊට යොමු වී තිබෙන බව පැවසිය යුතුයි.
ලැට්වියාව, ෆින්ලන්තය වැනි රටවල් මුදල් භාවිතය වෙනුවට විද්‍යුත් මුදල් භාවිතයට හුරුවී තිබෙනවා. ලැට්වියාව වැනි රටවල්වල කැබිනට් මණ්ඩලයේදී කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට කැබිනට් ඇමතිවරුන් ඔවුන් ඉදිරිපිට ඇති පරිගණකය හරහා කැබිනට් පත්‍රිකා සියලූ දෙනාටම දැක ගැනීමට හැකිවන පරිදි ඉදිරිපත් කරනවා. ඒ ආකාරයට ඩිජිටල්කරණය හරහා සියලුම අංශ පරිවර්තනය වී තිබෙනවා.
වර්තමානයේ ඔබට අවශ්‍ය චිත්‍රපටියක් ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා නැරóය හැකියි. මෙවැනි නව ආර්ථිකයකට ලෝකය පිවිසී තිබෙනවා. අපි කෘෂිකර්මාන්තයෙන් කර්මාන්ත ආර්ථිකයකට පැමිණියා. ඒ කාලයේ අපට විදුලිබලය ලබාදීමට සිදුවුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ 90% පමණ විදුලි බලය ලබාදී තිබෙනවා. සියළුදෙනාම දුරකථන භාවිතය සිදු කරනවා. එදා අශ්ව කරත්තයෙන් ගිය අය අද වාහන භාවිතයට පුරුදු වී සිටිනවා. දැන් මෝටර් රථය ගමන් කළ යුතු දිසාව පෙන්වන්නෙත් ඩිජිටල්කරණය හරහායි. වැඩි කල් නොගොස් රියදුරන් නොමැති වාහනත් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට ඉඩ තිබෙනවා. නව රැකියා ඇතිවී තිබෙනවා. මෙවැනි සම්පූර්ණ වෙනසක් අද ලෝකයේ සිදුවෙනවා.
මේ තත්වය තුල ශ්‍රී ලංකාව ඉදිරියට යන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුයි. අපේ රටේත් ඇතැම් අංශ හරහා ඩිජිටල් ආර්ථිකයට එකතු වී සිටිනවා. ලෝක ආර්ථිකයත් සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යා යුතුයි. අපේ මුතුන් මිත්තන් පාසලට ගියේ ගල්ලෑල්ල රැගෙනයි. අපි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොපි පොතෙන් සහ කළු ලෑල්ලෙන්. ඉන් පසුව වයිට් බෝඩ් එක සහ වර්තමානයේ සුහුරු පන්ති කාමර දක්වා අධ්‍යාපනය වෙනස් වී තිබෙනවා.