කිසිම හේතුවක් නිසා විදුලි බිල වැඩි කරන්න ඉඩදෙන්නේ නැහැ

February 28, 2019

“රටට හොදම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේක රටට අහිතරක දෙයක් කියලා දැන් තීරණය වෙලා ඉවරයි. ඒ නිසා දැන් රටට අවශ්‍යම දේ වෙන්නේ මේ විධායකය අහෝසි කිරීමයි.  ඡන්දයක් කාලෙකට ජනතාවට සුරංගනා ලෝක පෙන්නලා, බොරු පොරොන්දු දෙන එක නෙමෙයි අපි කරන්න ඕන. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය මෙවර ඡන්දයට පා තිබ්බේ, මේ විධායක ක්‍රමය අහෝසිකරන බවට ජනතාවට පවසමින්. අපි තාමත් ඒ මතයේම සිටිනවා.  එහෙනම් අපි දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. විපක්ෂයේ සිටින අනෙකුත් පක්ෂ වලටත් අපි කියන්නේ, එකම මතයකට ඇවිත් විධායක ක්‍රමය අහෝසි කරලා, මේ අවස්ථාවේ රට නිවැරදි මාවතකට යොමු කරන්න කියලයි.  මේ රට  වසර 71 ක කාලයක් පාලන තන්ත්‍රයන් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් පැමිණ තිබෙනවා. නමුත් රටේ ආර්ථිකයේ සිදුවූ කිසිම ධනාත්මක සැබෑ වෙනසක් තාමත් පෙනෙන්න නැහැ. ගන්න තින්දු ක්‍රියාත්මක කරන්න යම් කාලයක් ගතවන නිසා ඒවාත් ගැටළු බවට පත්වෙලා තිබෙනවා.  මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, රටට පාර්ලිමේන්තුවෙන්  ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් ඇතිකරන එක ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වෙනවා “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් සිදුකරන විදුලි උත්පාදන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පැවති නිරීක්ෂණ චාරිකාවේදී ග්ලිඩිසීරියා යොදාගනිමින් විදුලිය නිපදවන ඩෙන්ඩ්‍රෝ විදුලි ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරිමට සහභාගි වෙමිනි.

 

 

 

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා…,

“ඩෙන්ඩ්‍රෝ වලින් කොහොමද විදුලිය නිපදවන්නේ, කොහොමද ඒවා අපේ අහිංසක පවුල් වලට ඒවායේ ප්‍රයෝජන ලබා දෙන්නේ කියලා බලන්නයි අපි ආවේ.මෙම ඩෙන්ඩ්‍රෝ ව්‍යාපෘතිය තුළින් ලබාගන්නා ප්‍රථිලාභයන් අදාළ පවුල් වලට ලබාදිම තමයි මගේ අරමුණ. මගේ මූලික මෙන්ම එකම අභිප්‍රාය තමයි අපේ අහිංසක පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම. කිසිම හේතුවක් නිසා විදුලි බිල වැඩි කරන්න මම ඉඩදෙන්නේ නැහැ. එහෙම කරලා කොහොමද අපි ලංකා විදුලිබල මණ්ඩලය ආරක්ෂා කරන්නේ. ලංවිම සිටින 30,000 ක සේවක පිරිසත්, එම ආයතන ව්‍යුහයේත් තත්ත්වය වැඩිදියුණු කරලා, මේ වසරේ අලාභය වශයෙන් ගණන් බලා ඇති කෝටි 8900 ක අලාභය අඩු කරගන්නේ කොහොමද කියල සොයා බලමින්, අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත විදුලි උත්පාදන ක්‍රම යොදාගැනීමේ ක්‍රියාවලියකට තමයි අපි අවතීර්ණ වෙලා සිටින්නේ.

 

කව්රු ගෙනාවත් කරන්න තියෙන්නේ හොද දෙයක් නම් අපි එකග වෙනවා. විධායක ක්‍රමය රටට හදුන්වලා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතායි. පසුව ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන සැමදෙනාටම එදා ඒක රටට ඔබින දෙයක් කියලා තේරුණාට, පසුව මෙම ක්‍රමය රටට අහිතකර බව වැටහුණා.  ඒක මෑතකදි ඔප්පු වෙලා තිබෙනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් දැන් එකම මතයක සිටින්නේ. මම ආරාධනා කරනවා අනෙක් පාර්ශවයන්ටත් බය නැතිව මේක අහෝසි කරලා, අපෙන් වෙන්වූ ගරුතර සෝභිත ස්වාමීන්වහන්සේ එදා දැකපු සිහිනය සැබෑ කැරන්න උදව් කරන්න කියලා” යැයි පැවසීය.

t

o

p