ගෙළ සිරකර දියණිය මරා ගගට දැමු පාපතර මව අල්ලයි

February 4, 2019

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඊයේ(03) ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

ඒ අනුව දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කෙළ්ය.

කෙසේ වෙතත් මෙතෙක් දියණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

සුගියදා 30 වැනිදා සිට අතුරුදන්ව සිටින සාලියවැව නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි සිවු හැවිරිදි ඩබ්ලිව්.පී. තෙනුරි තිසාරා දැරියට පහරදී කලා ඔයට විසි කළ බව දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

දැරියගේ මව වන 21 හැවිරිදි එච්.එම්. නයනා කුමාරි නමැත්තිය, කරුවලගස්වැව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු සාලියවැව පොලිසියට භාර දී ඇත.

සැකකාර මව පොලිසියට පවසා තිබෙන්නේ පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යෑම සඳහා සූදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා දියණියට පයින් පහර එල්ල කළ බවත් එම අවස්ථාවේ දියණිය සිහිමූර්ඡා වන්නට ඇතැයි විශ්වාස කර ඇයගේ මුහුණට වතුර ඉසුවත් පලක් නොවූ තැන දැරිය ඔසවාගෙන ගොස් කලා ඔයට විසිකර දැමූ බවත්ය. තම පියාගේ සිරුර කලා ඔයට දමා ඇත්තේද මෙම ස්ථානයෙන් බවට සැක කරන අතර එම සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමා අනුමාන කළ බවද ඇය පොලිසියට පවසා තිබේ. පසුව නිවෙසට පැමිණ නැවතත් ව්‍යාජ ආරූඪයක් මවාගෙන සොහොන් පිටියට දිවගිය බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත. එසේ ආරූඪයෙන් දිව ගිහින් ඒ යන අතරමඟ සිටි පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඇය පොලිසියට තොරතුරු ප්‍රකාශ කොට ඇත.

පසුගිය 30 වැනිදා පෙරවරු 7.30 සිට දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සෙවීමේ මෙහෙයුම් දින 04ක් පුරා ක්‍රියාත්මක විය. නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය, පොලිසිය, පොලිස් නිල සුනඛ අංශය සහ ගම්වාසින් එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද නමුත් ඇය මෙතෙක් හමුවී නැත. පස් වැනි දිනටත් ඇය සෙවීමේ මෙහෙයුම් 03දා පෙරවරුවේ ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.

අතුරුදන් වී ඇති දැරිවිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ඇයගේ මව, මිත්තණිය සහ මිත්තණියගේ දෙවැනි ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබිණි. ඊට හේතුව වී තිබුණේ දැරිවියගේ අතුරුදන්වීම පිටුපස මොවුන් සිටින බව ප්‍රදේශවාසීන් සැක පහළ කර සිටීමය.

දැරිවියගේ මිත්තණිය වන ටී. නිලූකා විජේරත්න යන අය කියා සිටියේ සිද්ධිය වනවිට තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා කලා ඔයෙන් ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ගොස් සිටි බවත්, එවිට ‘සීයේ.. ආච්චියේ’ කියා දැරිවිය කෑගසන ශබ්දයක් ඇසුණු බවත්ය. ඉන් අනතුරුව ඇය සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත්ය. එමෙන්ම තම දියණිය වන අතුරුදන් වී ඇති දැරිවියගේ මවට කිසියම් අයකු ආරූඪ වන බවත් එවිට ‘මගේ මිනිපිරි මට ගෙනත් දියන්’ යනුවෙන් කෑගසන බවත්ය. දියණියට ආරූඪ වන්නේ මියගොස් ඇති තම සැමියා බවට විශ්වාස කරන්නේ යැයිද ඇය පොලිසිය හමුවේ කියා සිටියාය. සිද්ධිය වූ දින නිවෙසට පැමිණ බලන විට දියණිය හෝ මිනිපිරිය පෙනෙන්නට නොසිටි බවත් පැය 1/2කට පමණ පසුව දියණියව පමණක් ගමේ සොහොන් පිටියේ සිට හමු වූ නමුත් මිනිපිරිය එහි නොසිටි බවත් ඇය කියා සිටින්නීය.
දැරිවියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (අවු: 21) යන අය කියා සිටින්නේ දියණිය සහ තමන් නිවෙසේ සිටි බව මතක ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් නොදන්නා බවත්ය.
කෙසේ වෙතත් ගම්වාසීන් කියා සිටියේ දැරිවියගේ අතුරුදන්වීම පිටුපස ඇයගේ මව, මිත්තණිය සහ ඇගේ දෙවැනි ස්වාමි පුරුෂයා සිටින බවය.

මේ අතර විමර්ශන කටයුතු සාලියවැව පොලිසියෙන් ඉවත් කර කරුවලගස්වැව පොලිසියට භාර කිරීමට පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි චන්ද්‍රරත්න ජයකොඩි මහතා පියවර ගෙන ඇත. ඒ අනුව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ජයලත් මහතා විසින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. අතුරුදන්වී ඇති දැරිවියගේ මවගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් පරීක්ෂක ජයලත් මහතා 02 වැනිදා සවස කටයුතු කර ඇත. එහිදී ඝාතනයේ සුල මුල හෙළි වී ඇත.

අතුරුදන් වී ඇති දැරිවියගේ මව වන සැකකාරියව වයස අවුරුදු 14දී පමණ ප්‍රදේශයේ අයකු විසින් දූෂණය කර ඇත. ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයන් 15 දෙනකු පමණ ඇසුරු කර ඇති බවත් දැරියගේ පියා ඉන් එක් අයකු බවත් අනාවරණය වී ඇත. සැකකාර කාන්තාවගේ පියාද මීට වසර කීපයකට පෙර අතුරුදන්වී ඇති බවත් ඔහුව ඝාතනය කර කලා ඔයට දමා ඇති බව එහිදී හෙළි වී ඇත. සැකකාරියගේ මව වර්තමානයේ ජීවත් වන්නේ පියා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර දැනට ඇප මත මුදා හැර ඇති අයකු සමඟය. එමෙන්ම මෙම කාන්තාව තමන් මුලින්ම දූෂණය කළ බව කියන අය සමඟ නැවත ජීවත් වීමට කැමැත්තක් ඇති බවත් එයට දියණිය සහ මවගේ දෙවැනි සැමියා බාධාවක් බවත් හෙළි කර ඇත. ඒ අනුව මවගේ දෙවැනි සැමියාව නිවෙසින් පලවා හැරීමේ අදහසින් තමන් පියා ආරූඪ වූ බවත් ව්‍යාජ ලෙස පෙන්වන්නට නිරන්ත ව උත්සාහ කළ බවද ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

සැකකාරිය පදිංචි නිවෙස අවට පදිංචිකරුවන් පිරිසකගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබා ගෙන ඇත. සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලිසියට භාර දීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.

දැරිවිය කෑගසන අවස්ථාවේ තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කරමින් සිටි බව මිත්තණිය ප්‍රකාශ කර ඇතත් එයද මුසාවක් බවත් ඒ වනවිට ඔවුන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි බව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත. දැරිවියගේ ඝාතනයට ඇයගේ මිත්තණිය කිසියම් ආකාරයකට අනුබල දී ඇද්ද යන්න සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී ඇත.

අතුරුදන් වී ඇති දැරිවියගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි චන්ද්‍රරත්න ජයකොඩි මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.
දැරිය සොයා දෙවැනි වතාවටත් නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ මෙහෙයුමක් කලාඔයේ ආරම්භ කළ නමුත් එදින පස්වරු 3 පමණ වනවිටත් දැරිය පිළිබඳ හෝඩුවාවක්වත් හමු නොවූ බව සාලියවැව පොලිසිය පවසයි.
පොලිස් මූලික විමර්ශනවලට අනුව ඉකුත් 30 වැනි දින උදෑසන ඩබ්ලිව්.ජී. තෙනුරි තිසාරා (4) නමැති දැරිය සිය මව සමඟ සිය නිවෙසේ සිටියදී අතුරුදන් වී තිබිණි.

එහෙත් මෙම අතුරුදන්වීම පිළිබඳව දැරියගේ මව සහ කිරි අම්මා ගතවූ දින කිහිපය තුළ පොලිසියට විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද පැවැසේ. ඒ අනුව අදාළ නිවෙසට මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි කලාඔයෙත්, නීලබැම්ම හා විල්පත්තු රක්ෂිතය තුළත්, සැක සහිත ප්‍රදේශවලත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බවද පොලිසිය කියයි.

මේ සඳහා පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සියයක පමණ පිරිසක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්, අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් (සොකෝ), සිවිල් ආරක්ෂක භටයන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් කණ්ඩායම් වශයෙන් බෙදී මෙම මෙහෙයුමේ නිරතව සිටින බවත් පොලිසිය පවසයි.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන සහ පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහත්වරුන්ගේ උපදෙස් මත, වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි සනත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් රණවීර, කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත්, නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

t

o

p