ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධනය වෙනුවෙන් කැනේඩියානු සහ ප්‍රංශ රජයේ සහය

January 22, 2019

වසර 2020 වනවිට ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, ප්‍රංශ සහ කැනේඩියානු තානාපතිවරුන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිණි.
 
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (21) මෙම හමුව පැවති අතර මේ සදහා ප්‍රංශ තානාපති Eric Lavertu මහතා සහ ධූත පිරිසකුත්, කැනේඩියානු තානාපති David Mc Kinnon මහතාත් සහභාගි වූහ.
දිනෙන් දින වර්ධනය වන ජනගහනයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් ලොකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවත්, අප සතුව පවතින්නාවූ සීමිත සම්පත් හමුවේ ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවීමට නියමිත බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමටනම් අප දැන්තියාම ස්ථිරසාර විසදුමක් සෙවීමට පෙළඹිය යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.
 
මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරුන් අවධාරණය කළේ, විදුලිය වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුනම් සැපයීම අතින් තම රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය.
 
තානාපතිවරුන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගිකයාට බරක් නොවන අයුරින්, මිල අවම, ගුණාත්මකභාවයෙන් යුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිම මෙන්ම පාරිසරික ගුණාත්මකභාවය සදහා මේ වනවිට විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුකිරීමට අප කටයුතු කර ඇති බවයි. එසේම, ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ රටවල්  මුහුණපාන බලශක්ති අර්බුදය අවම කරගැනීම සදහා ප්‍රංශ සහ කැනේඩියානු රජයන් විසින් අනුගමනය කරන්නාවූ ක්‍රියාමාර්ගයන් සහ තාක්ෂණික ඥානය ලබාගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.
 
ඒ අනුව සමස්තයක් වශයෙන් රටවල් අතර පවතින්නාවූ අන්යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය තවත් වර්ධනය වන බවත්, ඒ තුළින් බලශක්ති අර්බුධයට මෙන්ම ආර්ථික, සමාජයීය මෙන්ම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගතයුතු ඉදිරි සංවර්ධනාත්මක ක්‍රියාමාර්ගන් සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි බවත් මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

t

o

p