මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ – අගමැති රනිල්

April 5, 2017

මන්නාරම් මුහුදු තීරයේ මුල්ලිකුලම් හි පිහිටි නාවික හමුදා කඳවුර රජයට අයත් භූමියක පිහිටා ඇති බැවින්  එය ඉවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසිය.

මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර සඳහා පෞද්ගලික ඉඩම් කිසිවක් භාවිත කර නොමැති බවත් කඳවුර ආශ්‍රිතව පදිංචි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්ද මෙම නාවික හමුදා කඳවුර සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන බවත් අගමැතිවරයා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ වයඔ සහ උතුරු මුහුදු තීරයේ අධික ලෙස සිදුවන මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ජාවාරම්  මැඩ පැවැත්විමට හා ජාතික ආරක්ෂාවට උපක්‍රමික වශයෙන් වැදගත් වන මන්නාරම් දිස්ත්‍රික්කයේ මුල්ලිකුලම් ප්‍ර‍දේශයේ නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම කඳවුර පිහිටා තිබෙන ඉඩමෙන් අක්කර 500 ක ප්‍රමාණයක් 2012 වර්ෂයේදී මන්නාරම් දිස්ත්‍රික් ලේකම් හරහා සිවිල් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර තිබෙන අතර ඉන් පසුව මුල්ලිකුලම් ප්‍රදේශයේ සිවිල් ජනතාව නැවත පදිංචි කරවීම සඳහා තවත් අක්කර 252 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් නිදහස් කර තිබෙනවා.

දැනට කඳවුර පිහිටා ඇති ඉඩම් කොටස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමට සම්බන්ධ අතර එම භූමි ප්‍රදේශය අයත් වන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටයි.

මෙම නාවික හමුදා කඳවුර පිහිටා ඇති පරිශ්‍රය තුල රෝමානු කතෝලික දේවස්ථානයක් සහ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලක් පිහිටා තිබෙන අතර එම ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර 87 ක පමණ භුමි ප්‍රමාණයක් නාවික හමුදාව විසින් නිදහස් කොට තිබෙනවා. එසේම එම ස්ථානයන්ට පිවිසීම සඳහා පිවිසුම් මාර්ගයද නාවික හමුදාව විසින් නිදහස් කර තිබෙනවා.

එම දේවස්ථානයේ හා පාසලෙහි කටයුතු පහසු කිරීම සඳහා විදුලි හා ජල සැපයුම නොමිලේ  ලබාදීමටත් ඒවාට පැමිණෙන බැතිමතුන්ට හා  පාසැල් සිසුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයීමටත් නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.එසේම ඉහත පාසලෙහි ගුරුවරුන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවාගෙන ඔවුන්  නාවික රාජකාරියෙන් නිදහස් කර පාසල වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ සිවිල් ජනතාව කිසිදු ආකාරයකින් නෙරපීමක් හෝ අවතැන්වීමට ඉඩ සැලසීමක් නාවික හමුදාව විසින් සිදු කර නැහැ. 2012 ජුනි මස පදිංචි කරන ලද පුද්ගලයින් හට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිවාස 27 ක් ද  ඉන්දියානු රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස 134 ක්ද නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය යටතේ නිවාස 26 ක්ද වශයෙන් නිවාස 187 ක් රජය ඉදිකර දී තිබෙනවා. ඊට අමතරව පානීය ජලය ප්‍රවාහන පහසුකම් වැනි යටිතල පහසුකම් ද අඛණ්ඩව සැපයීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.ඒ අනුව මෙම නාවික කඳවුර පිහිටා ඇත්තේ රජයට අයත් භූමි ප්‍රදේශයක බැවින්ද පෞද්ගලික ඉඩම් කිසිවක් නාවික හමුදාව විසින් භාවිතා නොකරන බැවින් අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබාදී නැවත පදිංචි කරවා ඇති බැවින්ද මෙම නාවික හමුදා කඳවුර ඉවත්කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කියන්න කැමතියි.

t

o

p