හයිබ්‍රිඩ් අධිකරණත් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් රටේ සිදුවෙන්නෙත් නෑ

March 21, 2017

යුද අපරාධ පිළිබඳ සොයා බැලිමට කිසිසේත්ම හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් රට තුළ නොකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් පමණක් ස්ථාපිත කරනා බවද අගමැතිවරයා කීවේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රජය එකඟ නොවන බවත් දකුණු ආසියානු කළාපයේ රටවල ප්‍රතිපත්තියවන්නේද එය බවත් අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. රජය විසින් ව්‍යවස්ථාවට පටහැනිව විදේශිය විනිසුරුවරුන් හා නිතිවේදින් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ඇති කර රණවිරුවන් දඩයම් කිරිමට යෝජනාවක් සම්මත කර තිබේදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් රජයන් ඉදිරිපත් කළ යෝජනාවට අනුව ක්‍රියා කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහ ලේකම් බැන් කි මූන් මහතා ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් එකඟ වුනා. එහි තිබෙනවා මහලේකම්වරයා සඳහන් කළා කියා යුද්ධ කාලේ මානව හිමිකම් නීතිය උල්ලංගනය කිරිම ගැන විභාග කළ යුතුය කියලා.
ලංකා ආණ්ඩුව ඒ ගැන විභාග කරන්න එකඟ වු බවත් එහි සඳහන් කර තිබෙනවා. එදා තමයි පළමු වරට එවැන්නක් සඳහන් වුනේ. රටේ ඒකීයභාවය හා ස්වාධිනත්වය නැති කර විදේශ නඩුකරුවන්ගෙන් නඩු අසන්න අප එකඟ වී හෝ එවන් යෝජනාවකට සහාය දී හෝ නෑ. එවැන්නකට අප හවුල් වෙලාත් නැහැ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රශංසා කර තිබෙනවා අපේ ආණ්ඩුව දහනව වැනි ව්‍යවස්ථාව සම්මත කර ජාතික සංහිදියා ඇති කිරිමට ගෙන ඇති පියවරයන් පිළිබඳව. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ශක්තිමත් කිරිමට ගෙන ඇති පියවරයන් ගැනත් දැනුම්වත් කලා.
අතීතයේ වූ නිතිය උල්ලංඝනය කිරිම ගැන විභාග කරන අය ස්වාධින විය යුතු බව ඔවුන් කියා තිබෙනවා. ඒවා ගැන අපට ප්‍රශ්නයක් වන්නේ නැහැ. එල්.ටි.ටි.ඊ ය විසින් මානව හිමිකම් උල්ලංගනය කිරිම පිළිබඳවත් විභාග කළ යුතු බව කියා තිබෙනවා. විදේශ නඩුකාරවරු පත් කිරිම පිළිබඳව කියා නැහැ.
අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම පිළිබඳව අප කළ යෝජනාව ඒ අය පිළිගත්තා. ඒ අපේ ව්‍යවස්ථාවට පිටින් නොවෙයි ඊට අනුකුලව සිදු කිරිම සඳහායි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ 2009 වාර්තාවේ කියා තිබෙනවා ජාත්‍යන්තර අපරාධ උසාවියට එකතුවීම සහ මිශ්‍ර උසාවියක් ගැන. ඒ අය කී එකකටවත් අපි එකඟ වෙන්නේ නැහැ. 2009 ක් පසු පසුගිය ආණ්ඩුවේ නියෝජිතයන් නිව්යෝර්ක් හිදි එකඟ වුනා යුද අපරාධවලට නඩු දානවා කියලා.
ඒ නඩු දැමීම යටතේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඉන් පසුව ජි.එල්. පීරිස් 2014 දි ජිනිවා ගිහින් කිව්වා මූතුර් සහ ත්‍රිකුණාමලයේ සිදුවිම් විභාග කර නඩු දානවා කියලා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට අප එකඟ වන්නේ නැහැ. ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක් තමයි ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පත් කර ගත යුත්තේ ශ්‍රී ලාංකීය විනිසුරුවරුයි. නිරික්ෂකයන්ගේ, විශේෂඥයින්ගේ සහාය ලබා ගන්න අප කැමතියි. අපි කවදාවත් දරුස්මාන් කමිටුවට එකඟ වුනේ හෝ පත් කළේ නැහැ. නිව්යෝර්ක් ගිහින් දරුස්මාන්  කමිටුව පත් කළේ කොහොමද කියා අපි දන්නවා. අපි ඒ ලිපි ලේඛන ප්‍රසිද්ධ කරනවා.
රටේ ව්‍යවස්ථාව අපි උල්ලංඝනය කරන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් එය ගේන්නෙත් නැහැ. අනෙක නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යනවා. අපි මිශ්‍ර අධිකරණයක් පිහිටුවන්නේත් නැහැ ව්‍යවස්ථාව උල්ලංගණය කරන්නේ නැහැ.

t

o

p