ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

March 12, 2017

2017 මාර්තු 12 වන ඉරිදා සිට 19 වන ඉරිදා දක්වා දින 07 ක කාලයක් රාජගිරියේ සිට ආයර්වේද මංසන්ධිය දක්වාත් ආයුර්වේද මංසන්ධියේ සිට රාජගිරිය දක්වාත්, ද්විත්ව මංතීරු ප‍්‍රමුඛතා මංතීරු ලෙස කි‍්‍රයාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද උදෑසන ආරම්භවිය. දීර්ඝ කාලීනව කොළඹ වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම අධ්‍යනය කි‍්‍රයාත්මකයි.

යුරෝපා රටවල මෙන්ම සිංගප්පූරුව වැනි රටවලද ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ඉතා සර්ථකව භාවිතයට ගැනේ. මේ වන විට බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා ප‍්‍රමුඛ කාලයේදී (පෙ.ව. 07.00 – 09.00 දක්වා සවස 4.30 – 7.00 අතර) අවම වශයෙන් පැයකට බස්රථ 150 – 180 ත් අතර ප‍්‍රමාණයක් ධාවනය කෙරේ. එම බස්රථ තුළ මගීන් 8,000 – 10,000ක් අතර ප‍්‍රමාණයක් ගමන් කර ඇති බවට තක්සේරු කර ඇත. ඒ අනුව මගී බස්රථ ආශ‍්‍රයෙන් විශාල පිරිසක් දෛනික ගමනා ගමනය සිදු කරන අතර ඔවුන් සඳහා ඉක්මනින් තම ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ග සහ ප‍්‍රවාහන පහසුකම් සැලසීම අපේක්‍ෂාවයි. දීර්ඝ කාලීනව  පෞද්ගලික සහ රජයේ මගී ප‍්‍රවාහන සේවය විධිමත්ව සහ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම ද මෙමගින් සිදුකෙරේ.

අද සිට දින 07 ක කාලයක් ප‍්‍රමුඛතා මංතීරු නියමු වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමේදී සිදුවන අඩුපාඩු, ප‍්‍රායෝගිකව ඇතිවන ප‍්‍රශ්න සහ ගැටළු, මිනිසුන්ගේ හැසිරීම, රජයේ හා පෞද්ගලික අංශයේ බස්රථ ධාවකයින්ගේ හැසිරීම සහ පෞද්ගලික වාහන හිමියන්ට අත්විඳීමට සිදුවන කරුණු කාරණා අධ්‍යනය කිරීමත්, ඒවායින් යම් අපහසුවක් හෝ ගැටළුකාරී තත්වයක් මතුවන්නේ නම් ඊට ඍජු පිළියම් ලබාදෙමින් බත්තරමුල්ලේ සිට කොටුව දක්වා කි.මි. 10 ක දුර ප‍්‍රමාණයක් ප‍්‍රමුඛතා මංතීරුව විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමට අපේක්‍ෂිතය.

මෙම නියමු වැඩසටහන සඳහා කොරියානු රජයේ KAICA ආයතනයේ දායකත්වය සහ විශේෂඥ දැනුම ලබාදෙන අතර සමස්ථ ව්‍යාපෘතියේ උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතා කටයුතු කරයි. සමස්ථ ව්‍යාපෘතිය අධ්‍යනය හා මෙහෙවීම සඳහා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ‍්‍රී ලංකා පොලීසිය, මොරටුව විශ්ව විද්‍යාලය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් කටයුතු කරනු ලබයි.

ගමනා ගමන ක‍්‍රමවේද සංවර්ධනය කිරීමේදී මූලිකව සැලසුම් කළ යුත්තේ මිල අවම ප‍්‍රායෝගික ක‍්‍රමවේදයි. මහාමාර්ග සංවර්ධනය, වෙනත් විකල්ප මාර්ග, උමං හා ගුවන් මාර්ග පද්ධති ඉදිකිරීම සඳහා වැඩි ප‍්‍රාග්ධනයක් මෙන්ම ඉඩම් ලබාගැනීමේ අපහසුවක් සහ කාලය වැඩි වශයෙන් වැයවීමේ ප‍්‍රවණතාවක් ද ඇත. මේ හේතුවෙන් ලෝකයේ දියුණු රටවල් හා දියුණු වෙමින් පවතින රටවල් දෙපාර්ශවයම සාර්ථක ප‍්‍රථිපල ලබාගෙන ඇති ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අප රටේදිත් සාර්ථක කර ගැනීම සඳහා සමස්ථ මහජනතාවගේ සහ සෑම මාධ්‍ය ආයතනයකම විශේෂ දායකත්වය අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි.

අද ආරම්භ කළ නියමු ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණය සඳහා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

t

o

p