පාර්ලිමේන්තුවේ නම්බුව රැක ගන්න බැරි නම් කතානායක නම්බු පිටින් ගෙදර යන්න

March 12, 2017

මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටි රැඩිකල් කරු ජයසූරියට අද සිදුව ඇත්තේ කතානායක වශයෙන් රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත් ඉටු කිරීමට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කරු ජයසූරිය මහතාගේ රැඩිකල් දේශපාලන ගමන නිමා කළේ රනිල් වික්‍රමසිංහගේ නූල් සූත්තරයෙන් බව පැවසූ රණතුංග මහතා ඡන්දෙන් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් හොඳ හොඳ ඇමැති කටු සූප්පු කරන විට කතානායක වී මන්ත්‍රිවරුන්ගෙන් බැනුම් අසමින් ඉන්නට ඔහුට සිදුව ඇත්තේ ඒ නිසා බවත් පෙන්වා දුන්නේය.

මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට පසුගිය දා එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොයෙකුත් සුරංගනා කතා කියමින් බලයට ආපු වර්තමාන ආණ්ඩුව අද ඉතාමත් පිළිකුල් සහගත ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුව තුළ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතත් තමන්ට එරෙහි බලවේග මර්දනය කිරීමට ආණ්ඩුව නින්දා සහගත වැඩපිළිවෙලක නිරත වන බව පේනවා. අද මේ ආණ්ඩුවට එරෙහිව කට අරින්නවත් දෙන්නේ නැහැ.

එක පැත්තකින් සාමාන්‍ය ජනතාවට උද්ඝෝෂණය කිරීමේ, විරෝධතාව දැක්වීමේ අයිතිය උදුරා ගන්න හදනවා. මම දැක්කා අගමැති තීරණය කරලා තියෙනවාලු කොළඹ උද්ඝෝෂණ එක දවසකට සීමා කරන්න. උද්ඝෝෂණ සීමා කරන්න එයා කවුද? කවුද අගමැතිට බලයක් දුන්නේ? රනිල් වික්‍රමසිංහ කියන්නේ ආණ්ඩු කරන්න ජනතා බලයක් ලැබුණේ නැති පිං අගමැති කෙනෙක්.

රනිල් වික්‍රමසිංහගේ අතීතය අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳින් හෝ නරකින් තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන අත්තනෝමතික පාලකයෙක්. අපට කණගාටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියා ගන්නා ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් පිරිසත් රනිල්ගේ හිතුවක්කාරී පාලනයට යට වෙලා නිහඬව ඉන්න ‍එක. පිං අගමැතිට විධායක ජනාධිපතිත් යටයි.

ජනතාව මර්දනය කරනවා හා සමානවම ජනතා නියෝජිතයනුත් මර්දනය කරන්න මේ අය උත්සාහ කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ මුදුන් මල්කඩ. අද මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩු පක්ෂය සහ හීලෑ විපක්ෂය හැර අනෙක් කාටවත් පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් බැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වගේම සම්ප්‍රදායන් සියල්ලම වර්තමාන කතානායකතුමා උල්ලංඝණය කරලා.

අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටපු කීර්තිමත් කතානායකවරුන්ගේ සායම හේදිලා යනවා මේ කතානායකවරයාගේ මුරණ්ඩු ක්‍රියාකලාපය නිසා. කතානායකවරයකු වුණාම ස්වාධීන විය යුතුයි. නමුත් වර්තමාන කතානායකවරයා කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු වගෙයි. රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුව තුළත් ඉදිරියට ගෙන යාම තමයි එතුමාගේ එකම රාජකාරිය.

අපිට මතකයි එදා චමල් රාජපක්ෂ මහත්තයා කතානායකවරයා වශයෙන් කටයුතු කරපු ආකාරය. එතුමාගේ සහෝදරයා රටේ ජනාධිපති වෙලා ඉන්න විටත් ආණ්ඩුවට විශේෂ සැලකිල්ලක් දැක්වුවේ නැහැ. කාටත් එකම හැන්දෙන් තමයි බෙදුවේ. කරු ජයසූරිය මහත්මයාට මම යෝජනා කරනවා එදා චමල් රාජපක්ෂ කතානායක ධූරයේ කටයුතු කරපු ආකාරය හදාරන්න කියලා.

විමල් විරවංශ මහත්තයාගේ පක්ෂය සන්ධානයේ පාර්ශ්වයක් නෙමෙයි කියලා මුලින්ම කිව්වේ මහින්ද අමරවීර ඇමැතිවරයා. එහෙනම් ඇයි ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න දෙන්න බැරි? මේ අය බයයි. විමල්ලට පක්ෂ නායකයකුගේ වරප්‍රසාද ලැබෙනවාට බයයි. විමල්ලා පාර්ලිමේන්තුවේ හඬ නඟයි කියලා බයයි. බය වැඩි වුණාම තමයි මර්දනය කරන්න බලන්නේ.

විමල්ගේ ප්‍රශ්නයට කතා කරපු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක් පාර්ලිමේන්තුව තහනම් කළා. කාගේ වුවමනාවට ද කතානායවරයා මේ වගේ තීන්දු ගන්නේ? එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉෂ්ට කරන කතානායකවරයකුගෙන් මන්ත්‍රීවරුන්ට යුක්තිය සාධාරණත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ.

දිනේෂ් ගුණවර්ධන කියන්නේ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් උඩගෙඩි දෙනවා. මහා ලොකු විප්ලවාදීන් කියා ගන්නා ජනතා විමුත්ති පෙරමු‍ණ ඡන්දය දීමෙන් වලකිනවා. දෙමළ සන්ධානය නම් ඉතින් පිනට ලැබුණු විපක්ෂ නායකකම ආරක්ෂා කර ගන්න එපැයි.

අද මේ කවුරුත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන්ට යට වෙලා ඉවරයි. මම අහන්න කැමැතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ වගේ අය දිනේෂ් ගුණවර්ධන එළියට දාන යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ ජනාධිපතිගෙන් අහලද කියලා. රනිල්ගේ කටු ලෙවකන ශ්‍රී ලංකා ඇමැතිවරුන් ගැන අපට ලැජ්ජයි.

අපේ මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේම මිනිහෙක් වෙච්ච දිනේෂ්ට විරුද්ධව ඡන්දය දීපු ඇමැතිවරුන් ආපහු ගමට යන්න ඉන්නේ රෙදි ඇඳගෙනද කියලා මම අහනවා. සමහරුන්ට නම් ඡන්දයවත් ලැබුණේ නැහැ. පිං ඇමැතිකම් දරන්න නම් රනිල්ලාගේ වැසිකිලි පවා සුද්ධ කරන්න වෙනවා. ඔයිට වඩා හොඳයි තමුන්නාන්සේලා ගමට ගිහින් කුඹුරු කෙටුවා නම්.

අද ආණ්ඩු කරන රනිල් වික්‍රමසිංහලා, ලක්ෂ්මන් කිරිඇල්ලලා එදා විපක්ෂයේ ඉන්න කොට කිව්වේ මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් මේ වගේ වැඩ කළේ නැහැ. රනිල් අද බලයෙන් උමතු වෙලා. රනිල්ගේ ගෝල බාලයෝ ටික බලයෙන් පිස්සු වැටිලා. මේ ගමන වැඩිදුර යන ගමනක් නෙමෙයි.

පාර්ලිමේන්තුවේ නම්බුව ආරක්ෂා කරන්න බැරි නම් කතානායකතුමාට තියෙන හොඳම වැඩේ නම්බු පිටින් ගෙදර යන එක. එතුමට ඉදිරි දේශපාලන ගමනක් නැහැ. ඒක නැති කළේ රනිල් වික්‍රමසිංහමයි.  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වෙච්ච කරු ජයසූරියට හොඳ ඇමැතිකමක් දෙන්නේ නැතුව කතානායක විදියට දාන්න රනිල් තීන්දු කළේ ඔහුගේ දේශපාලන ගමන අවසන් කරන්න ඕනෑ නිසයි.

මොකද රනිල් දන්නවා ජනතාවට බොරු කියලා ගත්ත ආණ්ඩුව හොඳින් දුවවන්න බැහැ කියලා. එළියේ උද්ඝෝෂණ එනවා. ඒවා සියල්ල ජනාධිපතිගෙ කරපිටට දාලා රනිල් අතහෝද ගන්නවා. පාර්ලිමේන්තුවේ එන විරෝධතා සියල්ල කතානායකගේ ඇඟට දාලා රනිල් සද්ද නැතුව ඉන්නවා. රනිල්ගේ ගැටේට අහුවුණ ජනාධිපතිටත් කතානායකටත් වෙලා තියෙන්නේ ජනතාවගෙන් බැනුම් අහ අහ ඉන්නයි.

ඡන්දෙන් පැරදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගලා හොඳ හොඳ ඇමැති කටු සූප්පන කොට කරු ජයසූරියට වුණේ කතානායක වෙලා තවදුරටත් රනිල්ගේ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරන්නයි. කෝ එදා හිටපු රැඩිකල් කරු ජයසූරිය? මහින්ද රාජපක්ෂට විරුද්ධව පොදු අපේක්ෂකයා වෙන්න හිටපු කරු ජයසූරිය? ඕක තමයි අපි කියන්නේ රනිල් නූල් සූත්තරකාරයා කියලා.

අද පාර්ලිමේන්තුව අරාජික වෙලා. මේ වින්නැහියට ජනාධිපතිවරයාත් වග කියන්න ඕනේ. දිනේෂ් කියන්නේ සන්ධානයේ පක්ෂ නායකයෙක්. එතුමා එළියට ඇදලා දන්න අගමැතිගේ මැර හමුදාවේ පොලිස්කාරයෝ ලාංඡන නැතුව එනවා නම් සන්ධානයේ සභාපති කටවහගෙන ඉන්නේ කොහොමද? එතුමත් මේවට උඩගෙඩි දෙන නිසාද? කොන්දක් තියෙනවා නම් මෙන්න මේවටයි විරුද්ධ වෙන්න ඕනේ.

අපිට කොන්දක් තියෙනවා. අපේ නායකයා වන මහින්ද මහත්තයට කොන්දක් තියෙනවා. අන්න ඒක තමයි මේ අයට ඒකාබද්ධ විපක්ෂය පේන්න බැරි. ඒක නිසයි මහින්ද රාජපක්ෂ පේන්න බැරි. බොරුවෙන් හැමදාමත් රජකරන්න බැහැ. කවදා හෝ ජනතාවම මේ ආණ්ඩුවට එරෙහිව නැගිටින දවසක් එනවා. ඒ නැගිටීම මර්දනයෙන්, ගර්ජනයෙන් නතර කරන්න පුළුවන්කමක් නැහැ කියලා මතක තබා ගත්තොත් හොඳයි.

t

o

p