සමුද්‍රීය ආරක්ෂාව නාවික හමුදාවට පැවරීමෙන් රජයට රු.බිලියන 3ක්

February 17, 2017

මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත. සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී වශයෙන් සැළකෙන මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ.

වර්තමාන විනිමිය අනුපාතයන්ට අනුව 2015 නොවැම්බර් මස සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම මගින් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 3 ක් පමණ විශාල අගයක් ගනී. එම මුදල ප්‍රධාන වශයෙන් කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන් ගෙන් සිදු කළ නෞකා ගමන් වාර 8200 ක් මගින් උපයා ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් මාසයක් තුළ ආසන්න වශයෙන් සමුද්‍රීය ආරක්ෂක රාජකාරීන් 550 ක් පමණ සිදු කරනු ලබන අතර, එමගින් ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 200 ක් උපයා ගැනීමට හැකියාව ලැබේ.

අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, ඉන් උපයනු ලබන ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.

ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

t

o

p