වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නෑ – අැමති රිෂාඩ්

February 17, 2017

වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල සංශෝධනය ඉතා ඉක්මණින් ගැසට් කරන බවත් මේ වනවිට වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නොමැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) කොළඹ පිටකොටුවේ සහල් තොඟ වෙළෙඳ සැල් පරීක්ෂා කිරීමේ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘වෙළෙඳ පොළේ සහල් හිගක් පවතින බවට විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ඒ ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැහැ. අපි රජයේ වී ගබඩාවල තිබූ වී තොග මෙට්‍රික් ටොන් 50,000 ක් අරගෙන සතොස වී මෝලේ හාල් බවට පත්කරලා සතොස මගින් රට පුරා බෙදා හැරියා. ඒ නිසා අවශ්‍යතරම් දේශීය සහල් ලංකා සතොස අලෙවි සැල්වල තිබෙනවා. ඊට අමරතව පසුගිය කාලයේ කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ හාල් හිඟය පියවීම සඳහා අපි පිටරටින් හාල් ආනයනය කළා. පසුගිය සතියේ හාල් මෙට්‍රික් ටොන් 60,000ක් මෙරට වරායට ලැබී ඒවා තොඟ වෙළෙන්දන්ට ලබා දී තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී හාල් මෙට්‍රික් ටොන් 190,000ක් ලැබීමට නියමිතයි. දැනට වෙළෙඳ පොළේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ තිබෙනවා. හාල් හිගයක් කිසිසේත්ම නැහැ. අපි අද මාධ්‍යවේදී මහත්වරු ද සමග හාල් තොග කඩ නිරීක්ෂණය කළා. මේ තොග කඩවල ඕනෑ තරම් හාල් තොග තිබෙනවා. ඒවා උපරිම සිල්ලර මිලට වඩා රුපියල් හයක් හෝ පහක් පමණ අඩු මුදලට වෙළෙන්දන්ට ලබා ගත හැකියි. “

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ සහල් තොග වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් සහල් පමණක් විකුණන බවයි. නමුත් සිල්ලර වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් සහල්වලට අමතරව වෙනත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් අළෙවි කරන බැවින් මෙවන් අසීරු වාතාවරණයක දී වැඩි ලාභයක් නොලබා සහල් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ලබා දීමට උනන්දු විය යුතු බව ද ඔහු කියා සිටියේය.

t

o

p