දේශිය හා විදේශිය සහල් සඳහා උපරිම මිල දෙකක්

February 15, 2017

වෙළෙඳ‍පොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් ‍පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වෙළෙඳ‍පොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා පැවැසීය.
දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමටද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත උපදෙස් දෙනු ලැබිය.
සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහස සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ යෝජනා ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.
අමාත්‍යවරුන් වන රවි කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, පී, හැරියන් යන මහත්වරුන්ද ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

t

o

p