රනිල්ගේ සේවය අගයා ආචාර්ය උපාධියක්

February 14, 2017

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබිමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University) විසින් අද (14) සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි.
ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් (Prof. John Stanhope) මහතා විසින් මෙම සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමන ලදි.
ඒ සඳහා හේතු පාඨ දක්වමින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් (Prof. Jane Den Hollander) මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබිම, කොටි ත්‍රස්තවාදීන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලී වීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මුල්‍ය සහය ලබා ගැනීමට පදනම සැකසීම සහ යහ පාලනය ස්ථාපිත කරලීමට කැපවීම ඇතුළු කරුණු ගණනාවක් ද මෙහිදී සැලකිල්ලට ගත් බවය.
උපාධි ප්‍රදානෝත්සව පීඨිකාව වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවා ගෙන එනු ලැබූවේ ඕස්ට්‍රේලියනු සාම්ප්‍රදායික වාදන කණ්ඩායමක් පෙරටු කරගත් පෙරහැරකිනි. ඩීකින් විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයකි.
උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ කරමින් දෙරටේ ජාතික ගීයයන් ගායනා කෙරුණු අතර එහිදි ශ්‍රී ලංකා ජාතික ගීය මුලින් ගායනා කිරිමද කැපිපෙනෙන කරුණක් විය. එසේම වෙනත් රටක ජාතික ගීයක් උපාධි ප්‍රදානෝත්සවයේදි ගායනා කළ පළමු අවස්ථාව ද මෙය වේ.
මීට පෙර ඩීකින් විශ්ව විද්‍යාලය විසින් මැල්කම් ෆේ‍රෂර්, කෙනත් කවුන්ඩා සහ ජුලියා ගිලාඩ් යන අග්‍රාමාත්‍යවරුන් වෙත සම්මාන ආචාර්ය උපාධි පිරිනමා ඇත. එම උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධිත දෙසුම පවතිවනු ලැබුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක මහතා කැඳවූ වික්‍රමසිංහ මහතා තමාට පිරිනැමුණූ මේ ගෞරව උපාධි නාමය කිසි විටෙක තමාගේ රාජකාරි හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවට තරයේ උපදෙස් දුන්නේ ය.
සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් අනතුරුව ඩීකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 300 ක පමණ උපාධීලාභීන් ප්‍රමුඛ උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තම ජීවිත ගමනේ දී උත්සාහ කළ යුත්තේ නොවැටී සිටීමට නොව, වැටෙන වැටෙන හැම විටෙකම නැවත නැගී සිටීමේ ශක්තිය ජනිත කර ගැනීමට බවය.
Ranil-in-Australia1 Ranil-in-Australia2 Ranil-in-Australia3 Ranil-in-Australia4 Ranil-in-Australia5 Ranil-in-Australia6

t

o

p