සයිටම් තීන්දුවට අවනත විය යුතුයි

February 5, 2017

මාලඹේ සයිටම් ආයතනය මගින් පිරිනමන උපාධිය සම්බන්ධ නඩු තීන්දුවට සියලු පාර්ශ්වයන් කැමති වුණත්, අකමැති වුණත් අවනත විය යුතු යැයි සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
අධිකරණ නියෝගයක් පිළිනොගැනීම අධිකරණයට කරන අපහාසයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන ලද්දේ සයිටම් ආයතනය පමණක් නොවන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළද වෛද්‍ය පීඨයක් ආරම්භ කළ බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
අපේ දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලැබිමට වසරකට රුපියල් මිලියන 7,000ක පමණ මුදලක් වැය කරන බැවින් ඒ දරුවන්ට මෙරටදීම ඉගෙන ගැනීමට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැරැද්දක් නොවන බවත්, පටු දේශපාලන අරමුණු සහිතව වැරදි අවබෝධයක් සමාජගත වී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරන බව රජයක් ලෙස පැහැදිලිව ප්‍රකාශ කරන බවත් කාගේවත් අතකොළු බවට පත් නොවෙන ලෙස විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

t

o

p