රැකියා අාර්ථිකයක් බිහිකර 2030-31වන විට ඉහළ අාදායම් අාර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා

February 3, 2017

රටේ ආර්ථික න්‍යාය පත්‍රය ගෙනත් තිබෙන්නේ රැකියා ආර්ථිකයක් බිහිකර වසර 2030-31 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම සඳහා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය කළමනාකරණ සහකාර  ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙම අදහස්     පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අද ඔබ සියලු දෙනාම රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන් ලෙස රජයේ සේවයට එකතු වෙනවා. ඔබ මේ සේවයට එකතු වෙන්නේ ලෝකයේ විශාල පරිවර්තනයක් සිදුවන අවස්ථාවකදියි. තාක්ෂණික පරිවර්තනයක්, ආර්ථික පරිවර්තනයක් සිදුවෙමින් ලෝක බලය හා ආර්ථික බලය ආසියාවට පැතිරී ආසියාව විශාල වශයෙන් දියුණුවට පත්වන අවස්ථාවකයි. මෙය ඉන්දියන් සාගරයට පත්වීම අපට විශාල වාසියක්.
එවැනි විශාල පරිවර්තනයක් සිදුවෙනවා. තව අවුරුදු 30-35 කින් ඔබ මේ සේවයෙන් විශ්‍රාම යන විට අදට වඩා වෙනස් ලෝකයක් දකින්න පුළුවන්. ඇතැම් විට සමහර අය මේ සේවයට වඩා පෞද්ගලික සේවාවන් හි යෙදී ඉහළ යා හැකියි. ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට ඇතුළු වී තිබෙනවා.
1990 සිට දශක දෙක හමාරක් තුළදී වෙළෙඳ ආර්ථිකය යෙදීමෙන් ලෝකයේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම 2008 දී පසුබෑමක්ද ඇතිවුණා. කෙසේ හෝ යම් පසුබෑමක් ඇති වුවත් ආසියාවේ දියුණුව අඩාල වී නැහැ. වෙළෙඳ ආර්ථික ක්‍රමය හැම තැනකටම පැතිරී තියෙනවා. ඊට පෙර ඉපදුණු අයට මතක ඇති ඉන්දියාව, චීනය ආදී රටවල පැවතුනේ හැමදේම රජය විසින් ඉටුකළ යුතු ක්‍රමයක්.
මෙහි පැමිණි සිටින ඔබ කවුරුන් එදා ඉපදිලා සිටි අය කියලා මං විශ්වාස කරන්නේ නැහැ. එකල අපට උදේ වරුවේ පාන් රාත්තලක් ගන්න ‍පෝලිමේ ඉන්න සිදුවුණා. වාසනාවන්ත අයට පාන් ලැබුණා. අවාසනාවන්ත අයට ගුල්ලෝ ලැබුණා. එවැනි තත්ත්වයක් එදා තිබුණා. එකල අපට ලැබුණේ අවුරුද්දකටම රෙදි යාර 2ක් පමණක් බව අද මේ විදියට ඇඳ පැළඳ සිටින අයට කිව යුතුයි. එකල මට වාහනයක් තිබුණු අතර එම වාහනයට අවුරුද්දකට ලැබුණේ ටයර් දෙකක් පමණයි. මම ඒ කා‍ලේ චීනයට ගොස් තිබෙනවා. මම දැක්කා එකල චීන මිනිස්සු හිටපු තත්ත්වය. එහෙත් ඒ සෑම රටක්ම වෙළෙඳ ආර්ථිකය පටන් ගත්තා. වෙළෙඳ ආර්ථිකය ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ක්‍රියාත්මක කළා. චීනය කොමියුනිස්ට් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළා. සමහර අය ඒකාධිපති ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළා.
වෙළෙඳ ක්‍රමය කියන්නේ ආසියාවේ පැරණිම ක්‍රමය. කෙතරම් පැරණිදැයි කියනවා නම් බුදුන් වහන්සේ මුලින්ම මුණගැසිලා පළමුවැනි පණිවුඩය මෙහාට එව්වේ වෙළෙඳුන් දෙදෙනෙක් හරහායි.
ඒ තපස්සු බල්ලුක, මිහිඳු හාමුදුරුවෝ මෙරටට වැඩම කළේ ඊට අවුරුදු 200-300 කින් පමණ පසුවයි. බුද්ධාගම, ෙජෙන ආගම, ඉස්ලාම් ආගම ආදී සියල්ලම මේ වෙළෙඳ ක්‍රමය පදනම් කරගෙන සම්බන්ධ වුණා. එයින් විශාල දියුණුවක් ඇතිවුණා.
රජයේ කාර්යභාරය කුමක්ද කියා අපි අද අලුතින් සිතිය යුතුයි. රජය හැම එකක්ම පාලනය කරන්න ගියොත් කිසිම දියුණුවක් ඇති වෙන්නේ නැහැ. වාහනයක් පදවන විට අපි කකුල් දෙකෙන් එකවර ඇක්ස‍ලේටරයයි, බේ්‍රක් එකයි පාගන්නේ නැහැ. ඉදිරියට යන්න නම් ඇක්ස‍ලේටරයේ කකුල තියලා, බේ්‍රක් එකෙන් කකුල අයින් කර ගන්නවා. ඒ ආකාරයට රජයේ කටයුතු මොනවාද, රජයේ නොවන කටයුතු මොනවාද කියා දැනගත යුතුයි. පෞද්ගලික අංශය යොදවන්නේ කුමක් සඳහාද පෞද්ගලික හා රාජ්‍ය අංශය ඒකාබද්ධව යොදවන්නේ කුමක් සඳහාද යන්න තීරණය කර වැඩ කටයුතු කළ යුතුයි. දේශීය ආයෝජකයන් හා විදේශීය ආයෝජකයන් කටයුතු කරන්නේ කෙසේද?
අද මේ ස්ථානයට පැමිණි ඔබ බොහෝ දෙනෙක් කොළඹ අය නොවෙයි. ඒ වගේම අනෙකුත් නාගරික ප්‍රදේශවල අයද නොවෙයි. මෙහි සිටින වැඩි පිරිසක් ග්‍රාමීය පරිසරයක් සහිත කුඩා නගරවලින් පැමිණි අයයි.
මෙම ප්‍රදේශ නවීකරණය සඳහා ගැමි ආර්ථිකයේ වෙනසක් සිදුකළ යුතුව තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කළ යුතු අතර කර්මාන්ත ඇති කළ යුතුයි. මේ ආකාරයට රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවට මුදල් නැහැ. දේශීය ආයෝජකයන්ටත් ප්‍රමාණවත් මුදල් නොමැති හෙයින් විදේශීය ආයෝජකයන් මගින් මෙය සිදුකළ හැකියි.
එදා චීනය විදේශීය ආයෝජන යොදවා තමන්ගේ ව්‍යාපාර ආරම්භ කළා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ, කටුනායක වෙළෙඳ කලාපය ගත හැකියි. චීනය විශාල වශයෙන් පළවෙනි අවුරුදු 10 තුළ විදේශීය ආයෝජන දියුණු කළා. දෙවැනි අවුරුදු 10දී දේශීය ආයෝජන සමග එකතු වූ අතර තෙවැනි දශකයේදී දේශීය ආයෝජකයන් ඉදිරියට පැමිණ ක්‍රියාත්මක කරගෙන යනවා. අපිත් ක්‍රියාත්මක විය යුත්තේ ඒ ක්‍රමවේදය අනුවයි. යල් පැනපු අදහස් මගින් රට දියුණු කළ නොහැකියි. මේ සියල්ලම රජයට තනිව කළ නොහැකියි. උතුරු කොරියාව හැර ලෝකයේ කිසිදු රටකට සියලු දෙනාටම රජයේ රැකියා ලබාදීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම සියලු දේ රජයේ පාලනය යටතේ දියුණු කිරීමටද හැකියාවක් නැහැ.
විවෘත ආර්ථිකයක්, විවෘත සමාජයක් කියන්නේ වෙනත් ආයතනවලට වාණිජ ආර්ථික ආයතන ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීමයි. එම නිසා අපේ රටේ මේ ක්‍රමය ඉදිරියට ගෙන යාමට එකඟතාවයක් තිබිය යුතුයි. එම එකඟතාවය ලබා ගැනීමට අපි පියවර දෙකක් ගනු ලැබුවා. පළමුවැන්න වන්නේ පක්ෂ ගණනාවක් එකතු වී සාමය, සංහිඳියාව, දේශපාලන හා ආර්ථික වෙනසක් වෙනුවෙන් ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමයි. එම ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති ලෙස පත්වීමෙන් එම පළමු පියවර තැබිමට අපට හැකිවුණා.
දෙවැනි ක්‍රමය වන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 5ක් වැඩ කර රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කරනවා. ඊළඟ මැතිවරණයට අප වෙන වෙනම ඉදිරිපත් වුවත් රටේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. කුමන මුහුණු ඉවත් කරනවාද, කුමන මුහුණු තෝරාපත් කර ගන්නවාද කියා ජනතාව තීරණය කරාවි. අපට එක පිම්මකට ඉදිරියට යාමේ හැකියාව මේ තුළින් ඇති වෙනවා.
ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය වෙනස් වෙලා. භාරතීය ජනතා පක්ෂයේ මෝඩි අගමැතිතුමයි බලයට පත්වුණා කියා ප්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනසක් වන්නේ නැහැ. එංගලන්තයේ ටෝනි බේලයාර් අගමැතිවරයාගේ ගෝර්ඩන් බ්‍රවුන්ග් මහතාගේ, ඩේවිඩ් කැමරන් මහතාගේ එසේ අගමැති ධුර වෙනස් වූ පමණින් එරට විශාල ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවූයේ නැහැ. වෙනස තිබෙන්නේ ජනමත විචාරණයෝ පමණයි. ඒ වගේම ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයට පත්වුණද එරට ප්‍රතිපත්තිවල විශාල වෙනසක් ඇතිවන්නේ නැහැ.
ජපානයේ තත්ත්වයද එසේමයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල මූලික ප්‍රතිපත්තිය පවතින අතර ඒවා ක්‍රියාත්මක කරනවා. ඉන් ස්ථාවරභාවයක් ඇතිවෙනවා. චීනය, වියට්නාමය පිළිබඳ මිනිස්සු කියන්නේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපිට එසේ කළ නොහැකියි. අපි කියන්නේ අපේ ආණ්ඩු වෙනස් වෙනවා. ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ කියලා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළේ එය පෙන්වීමටයි. පක්ෂ කිහිපයක් එකට වැඩ කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපි ඒ වැඩ කටයුතු කරගෙන යනවා.
ඒ ආකාරයට අපි කටයුතු කරමින් පසුගිය වසරේදී මේ රටේ ණය බර අඩුකර ගත්තා. රාජ්‍ය ආදායම වැඩිකර ගත්තා. ඒ අනුව ඉදිරියට යාමට පළමු පියවර ගනු ලැබුවා. එහිදී අප ගත් පියවර නිසා පසුගිය සතියේ දින 11-12 තුළදී ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න මුලපිරුවා.
අපට හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට තිබුණා. අපි ගත් පියවරයන් නිසා ඒ ණය බර අඩු කරගත්තා. ඩොලර් මිලියන 5000ක ආයෝජන ලබාගන්නවා. අපට ජී.එස්.පී. ප්ලස් ලැබුණු නිසා යුරෝපීය වෙළෙඳ‍පොළට ඇතුළු වීමට අවස්ථාව ලැබෙනවා. තවත් නොබෝ කලකින් චීන, ඉන්දීය, සිංගප්පූරු වෙළෙඳ‍පොළට ඇතුළුවීමට හැකියාව ලැබෙනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාවේ, ජපානයේ ආයෝජන ලැබෙනවා. මේ ආකාරයට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන නිසා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මේ දියුණුව හරහා ශීඝ්‍රයෙන් මේ දියුණුව ඉදිරියට ගෙන යා යුතුයි.
ඒ සඳහා මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් සකස් කරනවා. එක් එක් අමාත්‍යාංශ මගින් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? තමන්ට බාර වී ඇති ව්‍යාපෘති හා පෞද්ගලිකයට භාරදී ඇති ව්‍යාපෘති ඒ සියල්ල හඳුනාගෙන එම න්‍යාය පත්‍රය සකස් කරනවා. ඉන්පසු එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සියලු දෙනාටම දැනුම් දෙනවා. ඒ තුළින් අපි විශාල ප්‍රතිසංවිධානයක් ඇති කරනවා. එමගින් තව අවුරුදු 30-35ක් වෙන කොට මීට වඩා වෙනස් ජීවිතයක් අපට ලබාගන්න පුළුවන්.
ඔබ සේවයට ඇතුළු වූ පසු ඔබට ලිපි ගෙනු කිහිපයක් පරිහරණය කිරීමට සිදුවනු ඇතිදැයි මම මුලින්ම ඔබේ ‍ලේකම්තුමාගෙන් විමසා සිටියා. එහිදී එතුමා කියා සිටියේ ලිපි ගොනු 50-100ක් පමණ වනු ඇති බවයි. මම ඔබට එක් දෙයක් කිව යුතුයි. තවත් අවුරුදු 30-35කින් ඔබ විශ්‍රාම යන විට එකම ලිපි ගොනුවක්වත් බලන්න සිදුවන්නේ නැහැ. සමහර විට ජංගම දුරකතනයක නැත්නම් කුඩා යන්ත්‍රයක සියල්ල ඇතුළත් වී තිබිය හැකියි. මේ වනවිටත් යුරෝපීය රටවල පරිපාලන කටයුතු සිදුවන්නේ ඒ ආකාරයටයි.
ආන්ද්‍රා ප්‍රදේශ් හි මහ ඇමැති චන්ද්‍රබාබු නයිඳු මහතා පෙන්නුවා ඔහුගේ තාක්ෂණික පාලන ක්‍රමය. හැම පළාතකටම, ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයකටම එකතු වන ආදායම එක පැත්තකට, වියදම තවත් පැත්තකට. හැම අමාත්‍යාංශයකම ආදායම්, වියදම්. ඒ වගේම එතුමා අපට පෙන්නුවා විශාබා පට්නම් නගරයේ හැන්දෑවරුවේ, දවල් කාලයේ විදුලිය දැල්වෙනවාද, නැද්ද කියා. ඒ සියල්ල එතුමාගේ පරිගණකයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. අපේ පරිපාලනයත් එතනට යා යුතුයි. ඒ ගමන අප යා යුතුයි. එහි වාසිය ලැබෙන්නේ ඔබටයි. ඔබේ දරුවන්ටයි. රට දියුණු වූ විට රටේ ආර්ථිකය දියුණු වූ විට ඔබ දියුණු වනවා. ඒ නිසා න්‍යාය පත්‍රය සමග රජයේ සේවය යොදවනවා. විශේෂයෙන් මේ රටේ ඒ විපර්යාසය, පරිවර්තනය සිදුවන 2032 දී වත් අපේ රට වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරමු.
අප දැන් සිටින්නේ මැදි ආදායම් ආර්ථිකයක් සහිත රටකයි. එතැන් සිට අප ඉදිරියට යා යුතුයි. වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් ලෙස අපේ රට දියුණු කරන්න නම් අපේ ග්‍රාමීය පළාත් දියුණු කරන්න නම්, ඔබ සියලු දෙනා දියුණු වෙන්න නම් අපි මේ ගමන යා යුතුයි. ඔබ සියලු දෙනාට බාර දෙන්නේ ඒ වැඩකටයුත්තයි. යල් පැනගිය අදහස් මගින් සාකච්ඡා කොට ඵලක් නැහැ. අපට ආයෝජකයන්, දැනුම, තාක්ෂණය වුවමනා නම් ඒවා යොදා ගනිමින් දියුණු විය යුතුයි.
සිංහල රජ කාලයේ වැව් අමුණු හදන්න අවශ්‍ය තාක්ෂණය ගෙන ආවේ පිටිනුයි. එසේම වාරි ඉංජිනේරු තාක්ෂණයත් ගෙනාවේත් පිටින්. බුදුන් වහන්සේගේ ධර්මයත් අපට ලැබුණේ පිටින්. ඒ නිසා මේ සියල්ල අපේ වාසියට යොදා ගැනීමට අපි දැන ගත යුතුයි. රාජ්‍ය කළමනාකරණ සේවය අද එහි කොටසක්. ඔබ සියලු දෙනා මේ කළමනාකරණ සේවයට ඇතුළු වූ විට රාජ්‍ය පරිපාලනයේ ප්‍රබල පිරිසක්. අපි බලන්නේ ඊළඟ අවුරුදු කිහිපය තුළදී විශේෂයෙන් ලෝක වාණිජ ව්‍යාපාරවල තියෙන කළමනාකරණ ප්‍රතිපත්ති අපට එකතු කර ගැනීමයි. එසේ නම් අපි සියල්ල එතැනට එකතු වෙමු.
දැන් අපට යන්න තිබෙන ගමන මේ රට දියුණු කරන්නයි. පරිවර්තනයක් ඇති කරන්නයි. ඔබේ ජීවිත කාලය තුළදී මේ රට වැඩි ආදායම් සහිත රටක් බවට පත් කරන්නයි. එවිට ඔබට හොඳ නිවසක්, වාහනයක්, ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් තිබෙනවා. දරුවන්ට මෙරට හෝ විදේශ අධ්‍යාපනය ලබා දෙන්නත් පුළුවන්. කාලයෙන් කාලයට රට යන්නත් පුළුවන්. එවැනි තත්ත්වයක් මේ රටේ ඇති කළ යුතුයි. කළමනාකරණ සේවයට එකතු වූ ඔබට ඒ වෙනුවෙන් විශාල වගකීමක් තිබෙනවා. එය ඉෂ්ට කරන්න, පරිගණක, ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න. රාජ්‍ය සේවයට එකතු වූ ඔබේ දැනුම වැඩි කරන්න අපි සැලසුම් ගණනාවක් කර තිබෙන බවත් සඳහන් කරන්නට කැමතියි.

t

o

p