බැදුම්කර වංචාව හා ඉදිරි පියවර

February 3, 2017

පසුගිය මාස ගණනාව තුලම පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් වැඩි වශයෙන්ම කතා බහට ලක්වූ ප්‍රධානම විෂය බවට පත් වූයේ බැදුම්කර වංචාවයි. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවද අවසන් වශයෙන් කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ වාර්තාව සමඟ මෙම ගණුදෙනුවල යම් වැරැද්දක් හා වංචාවක් තිබෙන බව ප්‍රකාශ විය. ඊට පෙර මෙම ගණුදෙනුවට සම්බන්ධ තැරැව්කාර සමාගම ලබා ඇති අධික ලාභය හේතුවෙන් මෙම ගණුදෙනුවල අබිරහස එළියට ආවේය.

දැන් ඊළගට කරන්නේ කුමක්දැයි රටම විමසිල්ලෙන් සිටියි. ජනාධිපතිවරයා කොමිසමක් පත් කරන බවද කිය සිටියි. තවත් අවස්ථාවක නිතිපතිවරයාද අධිකරණයද මගින් මේ පිළිබඳ පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබුනි.
ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් ද මේ පිළිබඳ මත පළකර තිබුනි. ඩිව් ගුණසේකර මහතාෙගේ මතයට අනුව නම් මෙම ගණුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසමක් මගින් අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන්නයි.

ආණ්ඩුවේ පාර්ශවයේ මතය දැන් පැහැදිලිය. ඔවුන් කියන්නේ මෙම වාර්තාව නිතිපතිවෙත යොමු කර අවශය නිතිමය පියවර ගත යුතු බවය. අගමැතිවරයා පසුගිය සතියේ තම ස්ථාවරය එලෙස ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ජනාධිපති කොමිසමෙන් වැරදිකරුවන් වන අයට දඩුවම් දිය යුතු බවකි.
මෙම සිද්ධිය යටපත් කිරිමට හෝ නොසලකා හැරිමට කිසිවෙකුටත් බැරිය. එසේනම් එය බරපතල වංචාවකි. අප රටේ සිදුවූ බරපතලම මුල්‍ය වංචාව මෙය විය හැකිය. තවමත් නිශ්චිතව මෙහි සිදුවූ මුල්‍ය අලාභය ගණනය කර නොමැති නමුත් අඩුම වශයෙන් රුපියල් බිලියන 15 කට ආසන්න මුල්‍යමය පාඩුවක් රටට කර ඇති බව කියවේ.

මෙම ගණුදෙනුවට සම්බන්ධ ආයතනයේ ලාභංශ එළි දක්වා ඇති අතර ඔවුන් ලැබු ලාභය මිලියන 13000 ක් බව මාධ්‍ය වාර්තා කර තිබුනි. එවැනි තත්ත්වයක් හමුවේ මෙම සිදුවිම සරලව සැලකිමට ආණ්ඩුව ක්‍රියාකිරිම පුදුම සහගතය.

මේ වන විට පසුගිය රජයේ වංචා, දුෂණ පිළිබඳව සොයා බැලිමට පොලිසිය වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ. එය මුල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය (FCID), ඊට අමතරව බරපතල මුල්‍ය වංචාවන් සොයා බැලිමට විශේෂ ජනාධිපති කොමිසමක්ද පත් කර තිබේ. එම ආයතන විසින් මේ වන විටත් පසුගිය රජයේ මැති ඇමතිවරුන් හා නිලධාරින් පිළිබඳව පරික්ෂණ ආරම්භ කර සමහර සිදුවිම් පිළිබඳව අධිකරණය හමුවට ගොස් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පවා පත් කර තිබේ.

දැනට වාර්තා වන අන්දමට මේ සියළුම වංචාවන් මුල්‍යමය වශයෙන් ගණන් හැදුවද බැදුම්කර ගණුදෙනු වංචාව ඉක්මවා නොයන බව පැහැදිලිය. දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බොහා් සිදුවිම් වාහන පාවිච්චි කිරිම පිලිබද සිදුවිම් බව පෙනේ.

මේවා බොහෝමයක් පොදු දේපල පනත යටතේ ගැණුනු වරදවල් ලෙස සලකා නඩු පැවරිම නිසා ඔවුන් බලවත් දුෂ්කරතාවලට පත්ව තිබෙන බව පැහැදිලිය. බැදුම්කර ගණුදෙනුව රටට සිදු කළ මහා පරිමාණ වංචාවකි. එහෙත් එයට වගකිව යුතු කිසිවෙකුට මේ දක්වා නිතිමය පියවර නොගැනිම හා මගහැරිම පුදුම සහගතය.
මහ බැංකුවේ හිටපු අධිපතිවරයා පමණක් නොව මෙයට අනුබල හා උපදෙස් දුන් අයද රටට කර ඇත්තේ මහා වංචාවකි. මෙහි බර පැටවෙන්නේ ජනතාවටය.

බිලියන 15 යනු අප රටට මහවැලි සංවර්ධන ව්‍යාපෘති වැනි මහා ව්‍යාපෘති 10 ක් පමණ සිදුකළ හැකිතරම් විශාල මුදලකි. එම මුදල්වලින් දැනටමත් ගණුදෙනුවට සම්බන්ධ සමාගම වෙනත් ආයෝජන සිදුකරමින් තිබෙන බවද වාර්තාවේ.

දැන් රටම බලා සිටින්නේ ජනාධිපති කොමිසම හරහා වරදකරුවන්ට එරෙහිව ගන්නා පියවර පිළිබඳවය. ජාතික මුදල් කවුරු වංචා කළත් වැරදිය. එම නිසා රට වෙනුවෙන් අලූත් පුර්වාදර්ශයක් ලබාදීමට නම් ජනාධිපතිවරයා කළ යුත්තේ නිතිය ක්‍රියාත්මක කර වරදකරුවන්ට දඩුවම්දීමය.

තිස්ස අත්තනායක

t

o

p